“ජය ශ්‍රී” ට ගීත විස්සක් සදහා වාරණ නියෝගයක් !

(ලංකාපුවත් | කොළඹ) – “ජය ශ්‍රී“ සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් අද(17) නිකුත් කළේය.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව මෙම වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව ගායක හා වාදක අරුණ ලියාන් මහතා විසින් ගායනය, වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමුඋනේ, සියුමැලි, ශ්‍රිලා, සුන්දරියේ ගෝමරියේ, මම මන්කි හනුමන්තා ඇතුලු ගීත 20 ක් ජය ශ්‍රී නමින් සිය තනි නිර්මානයක් වශයෙන් ගායනා කරමින් අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිංගිං ටෝර්න්ස් වශයෙන් භාවිතා කිරීමට අදාළව මෙම නියෝගය ක්‍රියාත්මක වේ.

නීතිඥ තිලිණි හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතීඥ සදුන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙත්සම්කාර අරුණ ලියාන් මහතාවෙනුවෙන් පෙනි සිටියේය.

මෙම නඩුව මේ මස 31වන දින නැවත කැදවීමට නියම කළේය.

‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් මහතා විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් මහතා විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් පසුගිය මැයි මස 18වනදා එන්තරවාසි යවා තිබුනි.

‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය අරුණ ලියාන්, රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන තිදෙනා වෙතම පැවැතියද රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් අරුණ ලියාන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අරුණ ලියාන් වෙත සම නිර්මාණ හිමිකම් පවතින ගීත දේශීය සහ විදේශීය ප්‍රසංග හා අනෙකුත් ක්‍රම මගින් ගායනා කරමින් ඉතා විශාල මූල්‍යමය ආදායමක් නීති විරෝධී ලෙස ලබමින් සිටින බව අදාල එන්තරවාසි මගින් සදහන් කොට තිබේ.

දුරකථන රිගින් ටෝන් ක්‍රමය ඔස්සේ වසර 17කට අධික කාලයක් ද මොවුන් දෙදෙනා විසින් අරුණ ලියාන්ව දැනුවත් නොකර විශාල මුදලක් වංචා සහගත ලෙසින් උපයා ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *