රාජ්‍ය ඇමති පියල්, උතුරේ දරුවන් වෙනුවෙන් නව සටනකට මුලපුරයි

(ලංකාපුවත් | කොළඹ) – පසුගියදා මූලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ අවුරුදු 13ක දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් ඉකුත් 20වනදා මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවූ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සිදුවීමට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය සොයාබැලීම සේම ප්‍රදේශයේ දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව හා මෙවන් සිදුවීම් සඳහා හේතුවන සමාජ ආර්ථික සාධක ආදිය පිළිබඳ එහිදී පුළුල්ව විමසා බැලූවේය.
මෙම හමුව මුලතිව් මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දී පැවැත්විණි.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී දීර්ඝකාලීන සහ කෙටිකාලීන විසඳුම් රැසක් යෝජනා වූ අතර එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුග්‍රාහක දායකත්වය අමාත්‍යංශයක් ලෙස ලබාදීමට කටයුතු කරනා බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

ළමා හිංසන හා අපයෝජන, ළමා ගැබ් ගැනීම්, දරුවන් සිගමනේ යෙදවීම ආදී ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය, ළමා රක්ෂක අධිකාරිය, ජාතික කාන්තා කමිටුව හා පැමිණි රාජ්‍ය නිලධාරීන් සමඟ රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කල අතර අදාල ගැටලු වලට ගතහැකි විසදුම් පිළිබඳව ද එතුමන්ගේ අවධානය යොමු විය. එමෙන්ම උතුරු නැගෙනහිර පලාත්වල දරුවන් වැඩිදෙනෙක් පාසැල් නොයෑම පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ අතර දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දී දරුවන් පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “රජයක් ලෙසත් පුරවැසියන් ලෙසත් අප වගකීම් සහගත නොවන තුරු මෙවන් ඛේදවාචක වලින් දරුවන් ගලවා ගැනීම සැබැවින්ම සිදු කළ නොහැක්කකි. අමාත්‍යංශයක් ලෙස අප මේ වන විට ඒකාබද්ධ ප්‍රවේශයකින් අනිකුත් ආයතන ද සම්බන්ධ කරගනිමින් දරුවන් සම්බන්ධව වගකීම් සහගත රාජ්‍ය යාන්ත්‍රනයක් ක්‍රියාවට නංවමින් සිටිනවා. එහි ප්‍රතිලාභ නුදුරු අනාගතයේදීම දේශයේ දරුවන් සතුවනු නොවනුමානය. නීතිය ක්‍රියාත්මක කිරීම එහිලා ප්‍රමුඛ වන නමුත් අප සමාජය ආකල්පමය වෙනසක් කරා රැගෙන යෑම දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ඇති සාධනීයම ක්‍රමවේදයයි. පුරවැසියන් ලෙස ඔබ ද අප සමඟ අත්වැල් බැඳ ගතයුතු කාලය එළඹ තිබේ.” යැයි පැවසීය.

මෙම හමුව සඳහා මූලතිව් දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර්මස්ථාන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා, ළමා රක්ෂක අධිකාරියේ සභාපති සී.යූ අමරසිංහ මහතා, ජාතික පොලීස් ළමා කාර්යංශයේ සභාපති ප්‍රියාදිරියාස් මහත්මිය, ජාතික කාන්තා කමිටුවේ සභාපති බ්‍රියට්‍රිස් දිසානායක මහත්මිය, ජේෂ්ඨ පොලීස් අධිකාරි කැලුම් තිලකරත්න මහතා, පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක උමාශංකර් මහතා, වෛද්‍ය රණසිංහ මහතා, අධිකරණ වෛද්‍ය නිලධාරී වාසිද්වා මහතා මෙන්ම දිසාපතිතුමන් හා උප දිසාපතිවරුන්, මුලතිව් දිස්ත්‍රීක්කයේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ සියලුම නිලධාරීන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට අදාල ක්ෂේත්‍ර නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් පිරිසක් ද කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යංශයෙහි උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකාරක බවධාරී රාජසිංහම් මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.

මෙහිදී සිදුවීම සම්බන්ධව විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරීන් පවසා සිටියේ සිදුවීමට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අනුව අදාළ විමර්ශන සාධනීය ලෙස ඉදිරියට යන බවද ඔවුහූ කියා සිටියහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *