ශ්‍රී ලංකන් කෙයාර්ස් මහරගම CCC Home සමඟ නත්තල් සතුට බෙදා ගනියි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශයවන ශ්‍රී ලංකන් කෙයාර්ස්, නත්තල් සමයේ සතුට හා පරිත්‍යාග ශීලීත්වය පතුරවමින් මහරගම CCC Home වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් 540ක් පසුගියදා පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් ලබාදුන් මෙම ඇසුරුම් තුළ කිරිපිටි, සමපෝෂ, බිස්කට්, ළදරුක්‍රීම්, ළදරුසබන්, දත්බුරුසු, දන්තාලේප වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත්විය.

CCC Home යනු පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන් සඳහා පහසුකම් සලසන වාසස්ථානයක්වන අතර ඉතා දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම පිළිකා රෝහල වෙත පැමිණෙන අයවලුන් සඳහා ඉතා සුවපහසු සේවාවක් ලබාදෙන ස්ථානයකි. එය මහරගම අපේක්ෂා රෝහල ආයතන පරිශ්‍රය තුළ පිහිටා තිබේ.

ශ්‍රී ලංකන් කෙයාර්ස් යනු ශ්‍රීලංකාව පුරා සිටින අසරණ දරුවන්ට උපකාර කිරීම සඳහා කැපවී සිටින ආයතනයක් වන අතර ජාතික ගුවන් සේවයේ බොහෝ සමාජ සත්කාරක වැඩසටහන්වල මූලිකත්වය ගෙන ක්‍රියා කරයි. දරුවන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, ශිෂ්‍යත්ව, සම්මන්ත්‍රණ සහ වැඩමුළු රැසකටද ශ්‍රී ලංකන් කෙයාර්ස් සම්බන්ධවී සිටියි.

COVID 19 වසංගතය පැතිර ගියදා සිට, ශ්‍රී ලංකන් කෙයාර්ස් අංශය විසින් රෝහල් වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය ආධාර පරිත්‍යාග කිරීමට මුලපිරීම් කිහිපයක්ම සිදුකර තිබේ. රිජ්වේ ආර්යා රෝහලේ ළමා හෘදරෝග ඒකකයට infusions pumps , කොළඹ ජාතික රෝහලට BI-level ventilators සහ නැගෙනහිර කොළඹ රෝහලට ඔක්සිජන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ඊට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *