ඉදිරි සති 03න් පසු මෙරට ව්‍යාප්ත වන ප්‍රධාන ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකියි

(ලංකාපුවත් | කොළඹ) – ඉදිරි සති 3න් පසුව මෙරට ව්‍යාප්ත වන්නේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවයි.

මේ හේතුවෙන් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපැඳීම වැදගත් බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“දැනට හඳුනාගත්ත ආසාදිතයින් සංඛ්‍යාව 7කට ආසන්නයි. නමුත් රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන් කියලා මේ ආසාදිතයින් හැසිරීම හා ඔවුන්ගේ නිරාවරණය වීම් සම්බන්ධව සලකා බැලීමේ දී ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා ඉදිරි සති තුනෙන් පස්සේ රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් ප්‍රමුඛම ආසාදිතයින් බවට පත්වෙලා රට තුළ ඔමික්‍රෝන් ප්‍රමුඛ කොවිඩ් -19 වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තියෙනවා. මහජනතාවට අනතුරු අඟවනවා. රට තුළ මේ වාර්තා වන සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වෙනවා. මේ සංඛ්‍යා ලේඛන සම්පූර්ණ සාවද්‍ය සංඛ්‍යා ලේඛන බව තමා පේන්න තියෙන්නේ. ඒ වගේම මරණ සංඛ්‍යාව පිළිබඳවත් බරපතළ ගැටලු මේ වෙද්දි අපිට නිර්මාණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දි රට තුළ කොවිඩ් -19 වසංගතයක් තියෙනවා. ඒක ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම සහ ප්‍රමුඛතම ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදය වීමත් එක්ක ඉදිරියේ දී තවත් තිව්‍ර වෙලා අවාසනාවන්ත තැනකට තල්ලු වෙන්න පුළුවන් කියන අවදානම මතක තියාගෙන නත්තල් සමරන්න කියලා ජනතාවට අවධාරණයෙන් කියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *