ජේසු සමිඳාණන්ගේ ප්‍රේමයේ ශුභාරංචිය සෑම හදවතකටම සමීප වේවා! – ජනාධිපති

(ලංකාපුවත් | කොළඹ) – දෙවසරකට ආසන්න කාලයක් පුරා පවතින කොවිඩ් – 19 වසංගත කාලය තුළ පුද්ගලයන් වශයෙන් ද, සාමූහිකව ද, රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කරන ලද ආධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටිවහලක් වී ඇතැයි නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ශ්‍රී ලාංකික සහ ලෝක කිතුනු ජනතාවට පමණක් නොව, සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින්, සැම දෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයකි නත්තල.

“සමාජයේ යහපත වෙනුවෙන් වැය වීම මඟින් සැමට විමුක්තිය උදා කරලීම නත්තලේ ආධ්‍යාත්මික හරය වන්නේය. සාමය, කරුණාව, ප්‍රේමය වැනි උත්කෘෂ්ට ඉගැන්වීම් තුළින් අනවබෝධය තුරන් කොට පාප අන්ධකාරයෙන් මිදුණු යහපත් ජීවන රටාවකට මඟ කිතු දහම පෙන්වා දෙයි. මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත් වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර සහෝදරියන්ට පිහිට වීම මඟින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය සැබෑ ලෙසම එකිනෙකාගේ ජීවිත තුළ අත්දකින්නට සැලැස්වීම ජේසු සමිඳාණෝ බෙහෙවින් පසසති.

“සමාජීය වශයෙන් ද නත්තල හා බැඳුණු සංස්කෘතිය ඉතා ප්‍රබෝධජනක වූත්, අපූර්ව වූත් මිත්‍රශීලී වූත් එකකි. එබැවින්, නත්තලේ සංස්කෘතිය ජාති, ආගම් හෝ වයස් භේදයකින් තොරව සියලු දෙනාගේ මනස තුළ ඉතා අසිරිමත් ලෙස සනිටුහන් වී ඇත.

“මෙවර නත්තල් මංගල්‍යය වෙනුවෙන්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ ශුභාරංචිය ශ්‍රී ලංකාවාසී කිතුනු සහෝදර ඔබ ඇතුළු ලෝ වැසි සෑම හදවතකටම සමීප වන ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *