මැදවච්චියේ ගම් කුකුළු පාලනය ප්‍රචලිත කෙරේ

(ලංකාපුවත් | කොළඹ) –ග්‍රාමීය ජනතාවගේ ස්වයං රැකියා හරහා ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිවස් තුළ ගම් කුකුළු පාලනය මගින් බිත්තර නිෂ්පාදනය කිරීම කාලීන විසදුමක් බව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්. සී. මලවආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව මැදවච්චිය දේශගුණික තත්ත්වය සුදුසු බවත් දිනෙන් දින ඉහල යන බිත්තර මිල පාලනය කිරීමට සහ සැපයුමට සරිලන නිෂ්පාදනයක් රට තුළ නිර්මාණය කිරීමටද මේ තුළින් හැකි වන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

මේ වන විට දිවයින පුරා සමෘද්ධි දෙපාර්තමේන්තුව සහ සෞභාග්‍යා කාර්යංශය එක්ව ක්‍රියාත්මක කරන අඩු ආදායම් ලාභින් සහ සමෘද්ධි ලාභි පවුල් සඳහා ස්වයං රැකියාවන් ලෙස බිත්තර නිෂ්පාදනයට ගම් කුකුළුන් නොමිලේ ලබා දීමේ වැඩ සටහන් මාලාව මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ග්‍රාමයේ ආරම්භ කරමින් ප්‍රාදේශිය ලේකම් එම්. සී. මලවආරච්චි මහත්මිය තව දුරටත් මෙසේද කීය.

“ වර්තමාන තත්ත්වය අනුව දිනෙන් දින බිත්තර මිල ඉහල යමින් තිබෙනවා. ඒ කියන්නේ ඉල්ලුමට සාපේක්ෂව සැපයුමක් නෑ කියන එකයි. මෙම වැඩ සටහන තුළින් ගම්මාන වල නැවත බිත්තර නිෂ්පාඳනය වෙනවා. ඒ සියල්ල නැවත ජාතික ආර්ථිකයට එක් වෙනවා. අද වන විට තෝරාගත් එක් ගම්මානයක පවුල් කිහිපයකට ගම් කුකුළු පැටයුන් 100 බැගින් සමෘද්ධි අමාත්‍යාංශය නොමිලේ ලබා දෙනවා. රුපියල් 50.000 ක් පමණ වටිනා කමක් ඇති සත්තු පිරිසක් එක් ගෙදරකට ලැබෙනවා.

මේ ප්‍රදේශය බිත්තර නිෂ්පාදනයට ඉතා සුදුසුයි. ගොවිතැනින් ජීවත් වෙන පිරිසක් බහුලව සිටින මෙම ගම්මාන වල සත්තුන් හට ආහාර හිඟ වීම අල්පයි. දිනෙන් දින තර්කකාරි ආර්ථික රටාවට මුහුණ දිය හැකි පිරිසක් බිහි කිරීමයි මෙහි අරමුණ.

අද වන විට සමෘද්ධි අමාත්‍යාංශය සහ සෞභාග්‍යා කාර්යංශය විශාල සේවයක් මේ ප්‍රදේශ වල ජනතාවට සිදු කරනවා. නොමිලේ සත්ව පාලනයට අවශ්‍ය සියලු දේ ලබා දෙනවා. ඒ වගේම කෘෂිකර්මානතයට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ලබා දීම සිදු වෙනවා. නිවාස සිහින සැබෑ කර දෙනවා. සමෘද්ධී සහනාධාර ලබා දීම සිදු වෙනවා. ධීවර , අගලුම්, කෘෂිකර්ම, කිරි ආශ්‍රිත නිෂ්පාඳන, පළතුරු නිෂ්පාදන කර්මාන්තයේ නියෙලෙන පිරිස් සඳහා නිෂ්පාදන ගම්මාන, රාශ්‍රියක් මේ වන විට දිවයින පුරා ආරම්භ කරලා තියෙනවා. ඒ සියලුම ආදායම් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේ රටට දායක වෙනවා. එහි කොටස් කරුවන් ලෙස අද මෙම බිත්තර නිෂ්පාදකයින් පිරිසත් එක් වෙනවා.” යැයි ද එම මහත්මිය එහිදී පැවැසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *