ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන ජනතාවගෙන් හෝ මාධ්‍යයෙන් හංගන්න කිසිම දෙයක් මට නෑ – ජනපති

(ලංකාපුවත් | කොළඹ) –ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාවගෙන් හෝ මාධ්‍යයෙන් සැඟවීමට දෙයක් තමන්ට නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ පෙරේදා (27) ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ අඩුපාඩු ඇත් නම් විවේචනය කිරීමේ අයිතිය ඕනම කෙනකුට ඇති බව පැවසූ ජනාධිපතිවරයා සාධාරණ විවේචන පිළිගැනීමට තමා සෑම විටම සූදානම් බවත් පැවසීය.

ජනාතාව තමන් ජනාධිපති ධුරයට පත් කිරීමේදී බලාපොරොත්තු වූ කාරණා ඉටු කිරීම සිය අරමුණ බවත් එහිදී යම් අඩුපාඩුවක් සිදු වන්නේ නම් ඒවා පෙන්වා දීමට ජනතාවට අයිතියක් ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තමන් බලයට පත්ව මාසයක් ගත වන විට කොරෝනා වසංගතය පැමිණීම නිසා ජනතාවට දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීම අසීරු විය. තමා බලයට පත් වූයේ රටේ ආර්ථිකය පිළිබඳ මනා අවබෝධයකින් යුතුවය. කොරෝනා වසංගත තත්ත්වය ලොවටම එක ලෙස බලපෑම් එල්ල කළ නමුත් දියුණු රටවල්වලට ඊට මුහුණ දීමට හැකි වුයේ ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් පැවැති නිසා යැයි ජනාධිපතිවරයා කීවේය.

තවත් පිරිසක් අතර තරගයක් තමන්ට නැති බවත් තමන්ට ඇත්තේ රට වෙනුවෙන් තරගයක් පමණක් බව කී ජනාධිපතිවරයා, ඊට ආණ්ඩුවේ ම ඇතැම් අයගෙන් අවශ්‍ය සහාය නොලැබීම කනගාටුවට කරුණක් බවත් පැවසීය.

ආණ්ඩුවේ සියලු දෙනා සාමුහිකව කටයුතු කළ යුතුයි. මට පුරුදු සාමූහිකව වැඩ කරලායි. අප අතර නොයෙක් මත තිබුණත් ක්‍රියාන්විතයට ගිය විට එකාවන්ව සටන් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක මතවාද තිබුණත් වැඩ කරන විට සාමූහිකත්වය අවශ්‍ය කරනවා යැයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *