රට වෙනුවෙන් නිසි යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට පෙල ගැසෙමු – කථානායක

(ලංකාපුවත් | කොළඹ) – රට වෙනුවෙන් නිසි යුතුකම් හා වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්විය යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

පසුගිය වසර 02 තුළම අභියෝග රැසකට රට මුහුණ දුන්නේය. නව වසරද අභියෝග සම්පන්න වේ. රටේ පවතින අභියෝග ජයගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට සියලුදෙනා කටයුතු කළ යුතු බව 2022 වසර සඳහා රාජ්‍ය නිලධාරින් ප්‍රතිඥා / දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (01) එක්වෙමින් හෙතෙම අවධාරණය කළේය.

කථානායකතුමා විසින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස ප්‍රධාන පියගැට පෙළ අසලදී ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලය නව වසරේ රාජකාරි ඇරඹීමේ උත්සවය ආරම්භ කරන ලදී.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයෝ එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව / දිවුරුම් දීම සිදු කළහ.

රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවිකැප කළ සියලු දෙනා සැමරීම උදෙසා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කෙරුණේ ඉන් පසුවය.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ 2021 වසරේ පැවැති අභියෝග ප්‍රශස්ත ලෙස ජය ගැනීමට පාර්ලිමේන්තුවට හැකි වූ බවයි. එමෙන්ම කොවිඩ් 19 තත්ත්වය හමුවේ පවතින අභියෝග ජයගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මහලේකම්වරයා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පැවැති අභියෝග ජයගැනීමට හැකි වූයේ කැපවීම සහ වගකීම් සහගතභාවය හේතුවෙන් බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තු නිලධාරින් සතු ඉහළ වෘත්තීය නිපුණත්වය පාර්ලිමේන්තුවේ කටයුතු පහසු කිරීමට හේතුවන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

කොවිඩ් 19 අභියෝගය ජයගැනීම වෙනුවෙන් එක් එක් පුද්ගලයා , ආයතන සහ, සමාජය සතු වගකීම පිළිබඳව පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරි ටී.ආර් පතිරණ මහතාද මෙහි දී අදහස් පළ කළේය. යහපත් සෞඛ්‍ය පුරුදුවලින් කොවිඩ් 19 අභියෝගය ජයගත හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය. සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම, මුව ආවරණ පැළදීම සහ නිරන්තරයෙන් සබන් යොදා දෑත් සේදීම ඒ යටතේ ප්‍රමුඛ වන බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය මෙන්ම අනුබද්ධ කාර්‍ය මණ්ඩලයද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *