(ලංකාපුවත් | කොළඹ) –අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි 20 කාන්තා පිතිකාරිනියන් නවතම ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු පළමු දසදෙනා අතරට එක්ව සිටියි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ විස්සයි 20 තරග ඉසව්ව නියෝජනය කරන අවසන් කණ්ඩායම තෝරා ගැනීමට පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පිත්තෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඇය ස්ථාන 6ක් පසු කරමින් අටවැනි ස්ථානයට පත් වී සිටී.
මීට අමතරව විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩිකාවන් අතර 7 වැනි ස්ථානය ද චමරිට හිමිව තිබේ. ලබන ජූලි මස එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් අත් කර ගනිමින් මැලේසියාවේදී බංග්ලාදේශය පරාජය කළ අවසන් තරගයේදී චමරි අතපත්තු පිත්තෙන් දස්කම් පෙන්නුම් කරමින් ලකුණු 48ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී කඩුලු 3ක් දවාලීමට සමත් වූවාය.
එම තරගාවලිය පුරා ඇය අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 221ක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවාය. ශ්‍රී ලංකා කාන්තා පිල මේ තරගාවලියේදී සහභාගි වූ තරග 4ම ජයගත් අතර, ඉන් තරග 3කදීම තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ චමරි විසිනි.