දරුවන්ට වැලඳෙන‘මිස්සී’ රෝගය ඉහළ යෑමේ අවදානමක්

(ලංකාපුවත් | කොළඹ) – මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ දරුවන්ට වැලඳිය හැකි මිස්සී නමැති දරුණු රෝගය වැලඳීම ඉහළ යෑමේ අවදානමක් තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මෙම රෝගී තත්ත්වය වැලඳුණහොත් දරුවන්ගේ ජීවිත පවා අහිමි වීමේ අවදානමක් පවතින බවත්, මේ දිනයන්හි කොවිඩ් වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඉහළ යෑමත් සමඟ ඉදිරි සති දෙකක් හෝ මාසයක් ඇතුළත මෙම මිස්සී රෝගය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යෑමක් සිදු විය හැකි බවත් ඒ මහතා පැවසුවේය.

දරුවන්ගේ සියලු ඉන්ද්‍රියන් අඩපණ වීම මෙම රෝගයෙන් සිදු වන අතර බහු ඉන්ද්‍රීය ආසාදන රෝග තත්ත්වය ලෙස ද මෙය හඳුන්වන බව හෙතෙම පැවසීය.

වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ප්‍රතිශක්තිකරණය ලබා දුන්නොත් මිස්සී රෝගය අවම කර ගත හැකි බව ද ඔහු කීවේය.

දරුවන්ට මෙම රෝගය වැළඳුණු විට උණ, බෙල්ලේ වසා ගැටිති ඉදිමීම, ඇස් කහ වීම, හුස්ම ගැනීමේ අපහසුතා, මුත්‍රා යාම අඩුවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පහවීම, හෘද වස්තුවේ වේගය අඩු වැඩි වීම යනාදී රෝග ලක්ෂණ මතු විය හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *