පෙබරවාරි 04 දක්වා විදුලි කප්පාදුවක් නෑ – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

(ලංකාපුවත් | කොළඹ) – පෙබරවාරී මාසය තුල විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඒ අනුව පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ.

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් අවශ්‍ය වන බවයි

මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට කල යෝජනාවෙන් පසුව අපි බලාගාරවල තත්වය හා ඉන්ධන සැපයුම පිළිබද අඛණ්ඩව සමාලෝචනය කලා.

විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන නිසා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අවසර දුන්නේ නැ. යෝජිත විදුලි කප්පාදුව කලා නම් සමස්ත ආර්ථිකයට සිදුවිය හැකිව තිබු පාඩුව රුපියල් බිලියන 31ක් පමණ වනවා. විදුලි කප්පාදුව වැලැක්වු නිසා මේ රුපියල් බිලියන 31ක අපිට ඉතිරි කරගන්න හැකි වුණා.

එළඹෙන පෙබරවාරි මාසය ආරම්භයේදී ද විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදිය හැකි බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම ලබන මාසයේදී උසස් පෙල විභාග ආරම්භ වීමට නියමිතයි. මේ විභාගය සාර්ථකව පැවත්වීම සදහා බාධාවකින් තොරව විදුලිය සැපයිය යුතුය.

අලුත්වැඩියාවට ලක් වෙමින් තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ 3න් වන ඒ්කකය මේ වන විට ජනන කටයුතු ආරම්භකර තිබෙනවා. ඒ වගේම පහුගියදා නඩත්තු කටයුතු සදහා පද්ධතියෙන් ඉවත් කර තිබු සොජිට්ස් බලාගාරයේ මෙගාවොට් 130ක් නැවත ජනන කටයුතු ආරම්භ කරනවා පෙබරවාරි 2 වැනිදා. මේ නිසා විදුලි සැපයුම අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි බව තහවුරු වී තිබෙනවා.”

මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොර තෙල් ලැබී පිරිපහදු කටයුතු ආරම්භ වී ඇති හෙයින් ඉන්ධන බලාගාර සදහා අවශ්‍ය ඉන්ධන තොග ඉදිරියේදී ලැබෙන බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කලා

“පිරිපහදුවේ අතුරු ඵල වශයෙන් දැවි තෙල් හා නැෆ්තා නිෂ්පාදනය වනවා. සපුගස්කන්ද, කලම්බු බාජ්, වෙස්ට්කෝස්ට්, උතුරු ජනනී වැනි මෙගා වොට් 495 ක පමණ බලාගාර සදහා දැවි තෙල් අවශ්‍ය වනවා. දැනට ලැබී ඇති බොර තෙල් පිරිපහදු කටයුතු වලින් නිෂ්පාදනය වන දැවි තෙල් වලින් මෙගා වොට් 495ක් දින 13ක පමණ කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේ නිෂ්පාදනය වන නැෆ්තා ප්‍රමාණයෙන් මෙගා වොට් 150ක බලාගාරයක් .දින 5ක කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්”

විදුලි සැපයුම පිළිබද අභියෝගයක් එල්ල වී ඇති මෙවැනි අවස්ථාවන්හිදි එය කළමනාකරණය කර ගැනීම සදහා විදුලි පාරිභෝගිකයාගේ සහාය අත්‍යවශ්‍ය බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා.
මේ පිළිබද පැහැදිලිකල කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“විදුලි පහන් සීමා කිරීම, වායු සමීකරණ යන්ත්‍ර භාවිතය අරපිරිමැස්මෙන් කිරීම, වීථි ලාම්පු දැල්වෙන කාලය සීමා කිරීම වැනි පාරිභෝගික සහාය ඇතිව කල හැකි දැඩි සංරක්ෂණ ක්‍රියාමාර්ගයක් අපි යෝජනා කලා. අපේ ගණන් බැලීම් අනුව මේ පියවරයන් මගින් පමණක් අපිට දිනකට ගිගා වොට් පැය 3.7ක ප්‍රමාණයක් ඉතිරි කර හැකියි. එසේ කළ හොත් මෙගා වොට් 150ක ඉන්ධන බලාගාරයක් පැය 24 කට අක්‍රිය කළ හැකි ය. මේ අවස්ථාවේදී විදුලි සංරක්ෂණය සදහා සහාය වීම විදුලි පාරිභෝගිකයාගේ වගකීමක්. අපි ඉල්ලා සිටිනවා සියලු විදුලි පාරිභෝගිකයින්ගෙන් තමන්ට හැකි උපරිම ආකාරයෙන් විදුලි සංරක්ෂණය සදහා සහාය වන ලෙස. මෙවැනි අවස්ථාවක විදුලිය නාස්තිකාර ලෙස භාවිතකළහොත් අවසාන විසදුම විදුලි කප්පාදුවක් වෙන්න පුළුවන්.”

මෙගා වොට් 300ක පමණ ධාරිතාවයක් රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සතු විදුලි ජනන යන්ත්‍ර හරහා සපයාගැනීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *