රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට අනුර ප්‍රියදර්ශන යාපා

(කොළඹ, ලංකාපුවත්) – නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ ප්‍රථම වරට පසුගියදා (08) රැස්වූ රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිතරගයෙන් තෝරා පත් කරගැනිණි.

එම මහතාගේ නම යෝජනා කරන ලද්දේපාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර විසිනි.

රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මෙම කාරක සභාවේදී 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සඳහා වන සංශෝධනය අනුමත කෙරිණි. මෙමඟින්, යම් තැනැත්තකු විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ ගිණුමට ප්‍රේෂණය කරන ලද මුද්දර ගාස්තුවක් හෝ දඩයක්,ගෙවිය යුතු පමණ ඉක්මවා ගෙවා ඇත්නම් එය ප්‍රතිපූර්ණය කිරීමට නීතිමය ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත.

එසේම,2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ , කොළඹ වරාය පුළුල් කිරීම බටහිර බහාලුම් පර්යන්තය (WCT-1) සඳහා වන සංවර්ධන ව්‍යාපෘතියට බදු නිදහස් කිරීම සඳහා වන 2021 නොවැම්බර් 15 දිනැති අංක 2254/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහාද රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවිණි. එමඟින්, අදාළ ව්‍යාපෘතියේ කොටස් හිමියන් සඳහා වසර 25 ක කාල සීමාවක ආදායම් බදු මඟින් නිදහස් වන අතර, වැට්, පැල්, සෙස් සහ රේගු බදු වසර 5 කට නිදහස් කරනු ඇත. මෙහිදී , ආයෝජන මණ්ඩලයේ නව සභාපති රාජා එදිරිසූරිය මහතාගෙන් ප්‍රශ්නයක් විමසමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ , මෙම බදු නිදහස ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ලංකාව වැනි රටකට කෙතරම් යෝග්‍ය ද යන්නයි. මෙහිදී, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී , මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් පෙන්වා දුන්නේ පවත්නා තත්ත්වය යටතේ තරගකාරී ලෙස සෙසු රටවල් සමඟ ගැටීමට නම්, මෙවැනි බදු නිදහසක් ලබාදීම අත්‍යාවශ්‍ය බවයි.

එදින රැස්වූ රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා , අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කංචන වි‌ජේසේකර, ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, විජිත හේරත්, මුජිබුර් රහුමාන්, කවින්ද ජයවර්ධන,නලින් ප්‍රනාන්දු, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පැස්කුවල්,ඉසුරු දොඩංගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *