(කොළඹ, ලංකාපුවත්) – ජනතාවට පොරොන්දු වූ ආකාරයටම සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරි වසර තුන ඇතුළත සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඊයේ (9) පැවැති රට රකින ජන බලය පොදුජන රැලියට එක් වෙමින් ප්‍රකාශ කළේය.
අද තමන් ජනතාව හමුවට පැමිණ ඇත්තේ වැඩ කළ නායකයකු ලෙස බව පැවසූ ජනාධිපතිවරයා තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන පොදුජන රැලි මාලාවේ පළමුවැන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
අති විශාල ජනකායක් රැලියට එක්ව සිටියේය.
ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්නට ඉඩ නොතබන බව පැවසූ රාජපක්ෂ මහතා පොහොර ඇතිව හෝ නැතිව ගොවි ජනතාවගේ ආර්ථිකය සියයට සියයක් ශක්තිමත් කරන බවත් අවධාරණය කළේය.
ජනතාව වෙනුවෙන් වසර පහක් බලයේ සිටියදී කිසිවක් නොකළ අය ජනාධිපති සිහින දකිමින් රට අගාධයකට ගෙන යෑමට උත්සාහ කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ ඉදිරි ගමන වැළක්වීමට දෙස් විදෙස් බලවේග දරන උත්සහාය පරාජය කිරීමට එක්වන ලෙසත් ජනාධිපති රාජපක්ෂ මහතා වැඩි දුරටත් ඉල්ලා සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
මේ බිමේ පැවතුණු මගේ පළමු ජනහමුවේදී මම ඔබට පොරොන්දු වුණා පොහොර නිකම් දෙනවා. වීවලට වැඩි මිලක් දෙනවා කියලා. මගේ පළමු රාජකාරිය වුණේත් ඒක. පොහොර නැතිව හරි ගොවි ජනතාවගේ ආදායම සියයට සියකින් වැඩි කරනවා කියන පොරොන්දුව මම මේ අවස්ථාවේ ඔබට දෙනවා. ඔබට අවශ්‍ය පොහොර දුන්නා. සහතික වී මිල දුන්නා. අද වී 95ට දෙන්න පුළුවන්. ඔබෙන් උදුරා ගත්ත ඉඩම් ටික නැවත දෙන්න පොරොන්දු වුණා වගේම ඒ ඉඩම් දුන්නා. ගොවි ජනතාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මම කැප වෙලා ඉන්නවා. එදා අවුරුදු පහක් රට පාලනය කළ අය, කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ජනාධිපති සිහින මවලා ගොවියාව රවටලා රට අගාධයකට ගෙනියන්න ලෑස්ති වෙනවා. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගෙන ආර්ථීක සංවර්ධනයක් කරා ගෙන යන අවස්ථාවේ 2015දී බොරු ප්‍රචාර ගෙන ගිහින් එතුමාගේ ජනාධිපතිකම නැති කළා. ඊට පස්සේ අවුරුදු පහක් ඇතුළත මොනවාද වුණේ. අපි තහවුරු කළ ආරක්ෂාව නැති කළා. අන්තිමට පාස්කු ඉරිදා බෝම්බ ගහලයි නතර වුණේ. අපේ බුද්ධි අංශ විනාශ කළා. රණවිරුවන් පාවා දුන්නා. ලෝකය හමුවට ගිහින් රටේ ස්වෛරිත්වය නැති කළා. අපේ ජාතිකත්වය, ආගම, අපේ සංස්කෘතික උරුමවලට එදා මොනවාද වුණේ. ස්වාමීන් වහන්සේ උසාවි ගෙන ගියා. මේ තත්ත්වය පහුගිය වසර දෙකේ අපි නැති කළා. ජාතික ආරක්ෂාව තහවුරු කළා. කූරගල, මුහුදු මහ විහාරය දීඝවාපිය නැවතත් අපේ උරුම බවට තහවුරු වෙලා තියෙනවා. බොරුවලට රැවටිලා නැවතත් මේ දේවල් පාවා දෙන්න සූදානම් වෙන්න එපා.
අවුරුදු 15ක් විතර එක දිගට ඇමැතිකම් කරලා, අද බලවේග හදාගෙන ජනතාව අතරට ඇවිත් වෘත්තිකයන් රැස් කරලා බොරු කතා කියනවා. ඔවුන් අවුරුදු 15ක් බලගතු ඇමැතිවරු වෙලා කරපු දේවල් හොයලා බලන්න. අපි ඔබ ඉදිරියට එන්නේ වැඩ කරලා. මගේ ප්‍රතිපත්ති, අපේ පක්ෂයේ ප්‍රතිපත්ති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරි අනාගතය, ඉදිරි පරම්පරාව වෙනුවෙන් ගන්න ප්‍රතිපත්ති. අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, විදුලි බලය වේවා මේ සෑම ප්රතිපත්තියක්ම අපි ඉදිරියට ගෙන යන්නෙ මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන්. අධ්‍යාපන ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් කරන්න අපි පියවර ගෙන තිබෙනවා. සාමාන්‍ය පෙළ හෝ උස්ස පෙළ හෝ ගත් මේ රටේ තරුණයන්ට උසස් අධ්‍යාපනයක් ලබා ගන්න අවස්ථාව දෙන බව අපි එදා කිව්වා. පසුගිය වසර දෙකේ සෑම විශ්වවිද්‍යාලයකම ඇතුළත් කර ගැනීම 10,000කින් වැඩි කළා. විශ්වවිද්‍යාලවල මොන උපාධිය ගත්තත් ඒ අයගේ නිපුණත්වය වැඩි කරගෙන හොඳ රැකියාවක් ලබා ගෙන රටේ ආර්ථිකයට සහභාගි විය හැකි විදියට ඔවුන්ට තාක්ෂණය දෙනවා. මොන උපාධිය ගත්තත් උපාධියට තාක්ෂණය එකතු කර තිබෙනවා. ප්‍රාථමික ද්විතියික අධ්‍යාපනය වෙනස් කරනවා. මේ සෑම දේකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ තරුණ තරුණියන්ට විශේෂ හැකියවන් ලබා දෙන්න.
අපි හරිත කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා. එදා අපි පොඩි කාලේ වක්කඩකින් වතුර බිව්වා. අද පුළුවන් ද. වකුගඩු රෝගය පිළිකා රෝගය දිහා බලලයි අපි හරිත කෘෂිකර්මාන්තය ගැන කතා කරන්නේ. අපි කෘෂිකර්මාන්තය වැටෙන්න දෙන්නේ නැහැ. ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්න දෙන්නෙත් නැහැ. ආර්ථිකය රැකගෙනයි අපි ඉදිරියට යන්නේ. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ විශ්වාසය තබන්න. මාත් එක්ක එකතු වෙන්න කියලයි.
දේශීය හා විදේශීය බලවේග ආණ්ඩුව යන ගමන නතර කරන්න උත්සාහ කරනවා. අපි බලය ගත්තාම සැලැස්මක් තිබුණා. නමුත් අපිට අභියෝග ආවා. නොසිතූ විරූ විදියට ලෝකයටම අභියෝගයක් වුණු කොවිඩ් වසංගතය අවා. නායකයෙක් ආණ්ඩුවක් විදියට ඒ නව අභියෝගයට අපි මුහුණ දුන්නා. එන්නත් ගෙනාව. දැන් තුන්වැනි එන්නතත් දෙනවා. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ තුන්වැනි එන්නත ගන්න. නැවත රට වහන්න ඉඩ තියන්න එපා.
සංචාරකයන් පැමිණෙමින් තිබෙනවා. ආර්ථිකය නැවත නැඟෙමින් තිබෙනවා. අපි පොරොන්දු වුණු ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මොන ආණ්ඩුව ද පළමු වසරේම රැකියා ලක්ෂයක් දුන්නේ. මේ අමාරු කාලයේදීත් අපි සහන දුන්නා. අපේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගිහින් ඉදිරි වසර තුන ඇතුළත සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරනවා.
විවිධ දේශපාලනික බලවේග නිසා වැඩ වර්ජනවලට යනවා. මේ වගේ අවස්ථාවක ජනතාව දිහා බලන්න. ඔබේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට නෙවෙයි. ඔබේ වගකීම තියෙන්නේ ජනතාව වෙනුවෙන්. රට වෙනුවෙන් සේවය කරන්න. ඉදිරි වසර තුන ඇතුළත ඔබගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු කරන්න කියලා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.