මිලියන 202ක පෙට් ස්කෑනරයෙන් පරීක්ෂණ කරන්නේ සතියකට දවසයි

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් මිලියන 202ක මහජන ආධාරයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත ‘පෙට් ස්කෑනර්‘ යන්ත්‍රයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙන්නේ සතියකට එක් දිනක් පමණක් බව වාර්තා වේ.

මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රයෙන් මාසයකට ස්කෑන් පරීක්ෂණ 100කට වැඩි ප්‍රමාණයක් කළ හැකි වුවත් මේ වන විට සිදු කෙරෙන්නේ මාසයකට පරීක්ෂණ 40ක් පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් පෙට් ස්කෑන් පරීක්ෂණ සඳහා රෝගීන්ට පෞද්ගලික රෝහල් වෙත යොමු වීමට සිදු වී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය වේ.

එවන් මුදලක් වැය කළ නොහැකි පිළිකා රෝගීන් සිය ගණනක් මේ වන විට පොරොත්තු ලේඛනයේ සිටින බව සඳහන්ය.

පෙට් ස්කෑනර් යන්ත්‍රය සඳහා අවශ්‍ය ඩයි වර්ගය ගෙන්වීමේ පවතින ගැටලු හේතුවෙන් පරීක්ෂණ වාර ගණන වැඩි කිරීමට තවමත් නොහැකි වී ඇති බව අපේක්ෂා රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මේ පිළිබඳ ‘දිනමිණ‘ කළ විමසීමේදී පැවසීය.

එම ඩයි වර්ගය ගෙන්වීම සඳහා විශාල වියදමක් දැරීමට සිදු වී ඇති බවද ඉන්දියාවේ චෙන්නායි සිට මෙම ඩයි වර්ගය ගෙන්වන අතර ඩයි රැගෙන එන ගුවන් යානාවල කාලසටහනට අනුව ස්කෑන් පරීක්ෂණ සැලසුම් කළ යුතු බවද ඔහු කීය. මෙම ගැටලු නිරාකරණය කර ගත හැකි වුවහොත් අවම වශයෙන් සතියකට දින දෙකක්වත් පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කළ හැකි බව වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *