දේශීය කර්මාන්තවල ආයෝජනය කරන්න දේශීය ව්‍යවසායකයන්ට ජනපතිගෙන් ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) –දේශීය කර්මාන්තවල ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ව්‍යවසායකයන්ට ඇරියුම් කරයි.

ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීමේ අරමුණින් සාකච්ඡාව කැඳවා තිබිණි. විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය, විදේශ රැකියා ප්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප්‍රමාණවත්ව සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා විය.

පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ආයෝජනයෙන්, විදේශ විනිමය පාලනය කිරීමේ මහගු අවස්ථාවක් උදා වන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

දේශීය ව්‍යවසායකයන් රට ගොඩනැඟීමට දෙන සහාය අගය කළ ජනාධිපතිතුමා ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනැගීමට රජය උත්සාහ දරණ අවස්ථාවේ ඇතමුන් සිය පටු අරමුණු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව පවතින බව පැවසීය. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *