ඉන්දියාවෙන් සපයන ලද වායු සමීකරණය කරන ලද දුම්රියේ පරීක්ෂණ ධාවන කටයුතු සාර්ථකව සිදු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ, RITES සමාගමේ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරිහු වායු සමීකරණය කරන ලද දුම්රියක (AC ඩීසල් බහු ඒකක – ‍DMU) පරීක්ෂණ ධාවනය සඳහා 2022 පෙබරවාරි 18 වන දින එක් වූහ.

ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය රේඛා පහසුකමක් (LoC) යටතේ සපයන ලද මෙම දුම්රියේ පරීක්ෂණ ධාවනය සාර්ථක අයුරින් පැවැත්විණ. මෙම ණය රේඛා පහසුකම යටතේ සපයන ලද වායු සමීකරණය කරන ලද පළමු දුම්රිය 2022 ජනවාරි 09 වන දින ධාවනය සඳහා එක් කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සහ අවශ්‍යතාවයන් අනුව ශ්‍රී ලංකාවට දුම්රිය සැපයීම, දුම්රිය මාර්ග නවීකරණය කිරීම සහ වෙනත් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ව්‍යාපෘතීන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය රේඛා පහසුකමක් 2014-15 වර්ෂයේ දී අත්සන් තබන ලදී. එතැන් සිට ඉන්දියාවෙන් සපයන ලද ඉහළ තත්වයේ දුම්රිය මැදිරි සහ වායු සමීකරණය කරන ලද ඩීසල් බහු ඒකක ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට මෙන්ම මගී අත්දැකීම් ඉහළ නැංවීමට ද උපකාරී වී ඇත. මෙම ණය රේඛා පහසුකම යටතේ ක්‍රියාත්මක දුම්රිය මාර්ග නවීකරණය කිරීම ඇතුළු විවිධ ව්‍යාපෘතීන් විවිධ අදියරයන් හි ක්‍රියාත්මක වෙමින් පවතී.

ඉන්දියාවෙන් ලබා දෙන ලද ණය රේඛා පහසුකම් කොළඹ සිට මාතර දක්වා දුම්රිය මාර්ගය, ඕමන්තේ – පල්ලෙයි; මඩු පල්ලිය – තලෙයි මන්නාරම; මැදවච්චිය – මඩු සහ පල්ලෙයි – කන්කසන්තුරෙයි යනාදි දුම්රිය මාර්ග සකස් කිරීම, සංඥා පද්ධතීන් ස්ථාපනය කිරීම සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය සැපයීම වැනි දේ සඳහා දායකත්වය ලබා දී ඇත.

ලොව නවීනතම දුම්රිය තාක්ෂණයන් සමඟින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් සහ ඒ ආශ්‍රිත වෙනත් පහසුකම් සංවර්ධනය කිරීම, රැකියා උත්පාදනය, ආර්ථික වර්ධනය, සම්බන්ධකතාවය ඉහළ නැංවීම සහ මගී සුව පහසුව සහ ආරක්ෂාව යනාදිය සඳහා සැලකිය යුතු ලෙස දායකත්වය ලබා දී ඇත. ඉන්දියාව දුම්රිය ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි සහයෝගීතාවයක් සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *