කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව ගිය පළමු පිරිසට ඊශ්‍රායලයේදී උණුසුම් පිළිගැනීමක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව එරට කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව ගිය පළමු කණ්ඩායම ඊයේ(20) උදෑසන ඊශ්‍රායලය වෙත ළගා වී තිබේ.

පළමු කණ්ඩායමට රැකියා ලාභීන් 150ක් අයත් වන අතර, ඉන් 100 දෙනෙකු මේ වන විට ඊශ්‍රායලය වෙත පිටත්ව ගොස් තිබේ. තවත් ශ්‍රමිකයින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන 24 වැනිදා පිටත්ව යාමට නියමිතය.

ඊශ්‍රායලය සමග ඇති කරගත් ගිවිසුම අනුව වසර 5යි මාස 3ක කාලයක් එරට රැකියාවල නිරතවීමට අවසර හිමිවේ. ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියා ලාභීන් තෝරාගනු ලබන්නේ ලොතරැයි ක්‍රමවේදයට ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් පමණි. එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරනු ලබයි. රජයන් දෙක අතර පවත්නා අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට අවසර ලබාදී නැත.

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත හිමිවී තිබෙන අතර, අමාත්‍යවරයාගේ නම භාවිතා කරමින් මුදල් වංචාවල නිරතවන පුද්ගලයින්ට හසු නොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *