ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකයි ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට කෝටි 8150ක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය හේතුවෙන් තවදුරටත් ඉදිරියට ගමන් කිරීම සඳහා ශක්තියක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 8,150ක (අමෙරිකානු ඩොලර් මිලියන 250 ක) මුදලක් නිදහස් කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

එම බැංකුව ශ්‍රී ලංකාවට ලබා දෙන “Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation” යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස මෙම ඩොලර් මිලියන 250ක මුදල නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. අය-වැය සහාය වැඩසටහනක් ලෙස නම් කර ඇති ‘RESET DPO’, වැඩසටහන සඳහා පසුගිය ජුනි මස 28 වනදා අනුමැතිය ලැබී තිබෙන අතර, එහි දෙවැනි වාරිකය මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇත. ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීමේ අරමුණින් මෙම මුදල ලබාදීමට කටයුතු කර ඇත.

සාර්ව ආර්ථික ස්ථායීතාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි ජනතාව මත ඇතිවන බලපෑම් අවම කිරීම, පුද්ගලික අංශයෙන් ප්‍රකෘතිමත් වීම සඳහා ආධාර කරන පදනම් ප්‍රතිසංස්කරණ ආදියේ පළමුවැන්න මෙය වෙයි.

පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව සතුටුදායක ප්‍රගතියක් අත්කරගෙන සිටින අතර, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව ප්‍රමාණවත් ලෙස පවතින බවත්, තැන්පතු රක්‍ෂණය සහ ගැටලු සහිත බැංකු ශක්තිමත් කිරීම ඉලක්ක කරගත් බැංකු (විශේෂ විධිවිධාන) පනත යන තක්සේරුවෙන් පසුව දෙවන වාරිකය නිකුත් කරන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අඛණ්ඩ ගම්‍යතාවය ආර්ථිකය ස්ථාවර කිරීමට පමණක් නොව, පුද්ගලික අංශයේ නායකත්වයෙන් යුත් වර්ධනය සහ පරිවර්තනය සඳහා එහි විභවයන් මුදා හැරීමට ද ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩාඩ් මහතා පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *