පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද ඇරඹේ

(කොළඹ | ලංකාපුවත්) – නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පසුගිය මස 26 වැනිදා වාර අවසාන කළ අතර, ඒ අනුව අද දින උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුවේ.

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකරන අතර ඉන් පසුව පාර්ලිමේන්තුව පසුදින දක්වා කල් තැබෙනු ඇත.

ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දින දෙකක විවාදය හෙට (08) සහ 09 වැනිදා පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් එම පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අද දිනයේ ක්‍රියාත්මක වේ. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (06) පැවැත්වූ අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම වෙනුවෙන් පැවැත්වෙන අවස්ථාවට සහභාගී වන ආරාධිත අමුත්තන් හට පෙරවරු 09.45 වන විට අසුන්ගන්නා ලෙස දැනුම් දී ඇති බවද කුෂාන් ජයරත්න මහතා පැවසිය. එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට නියමිතය. ඉන් අනතුරුව වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරී පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යාමට නියමිත වේ. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසලදී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිවවරයාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද එක් කිරීමට නියමිතය. අනතුරුව පැලඳුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙරවරු 10.25 පමණ වන තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා සහ මහලේකම්වරු යන අනුපිළිවෙළට පෙරහරින් සභා ගර්භයට ඇතුළුවීම සිදුවේ.

සභා ගර්භයට ඇතුළුවීමේදී නියෝජ්‍ය වේත්‍රධාරීවරයා විසින් “ගරු ජනාධිපතිතුමා” යනුවෙන් හඬනඟා නිවේදනය කරන අතර, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැඟී සිට ආචාර කිරීම සම්ප්‍රදායානුකූලව සිදුවේ. සභා ගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර, මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමඟ අසුන් ගැනීම සිදුවේ.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, හෙට (08) පෙරවරු 9.30 දක්වා සභාව කල් තැබීමට නියමිතය. ඉන්පසු රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර ඇත. නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුවරයා , නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා , ත්‍රිවිධ හමුදාපතිවරු සහ වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සඳහන් කළේය. මෙම උත්සවයට විද්‍යුත් ක්‍රමයට ආරාධනාපත්‍ර (E – Invitations) යොමුකොට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *