EPF හා ETF අධිභාර බද්ධට යටත් නොවන බව නීතිපති දන්වයි

(කොළඹ, ලංකාපුවත්) – සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා අද(02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා අද බුවනෙක අළුවිහාරේ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එවා තිබූ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම ලිපිය මගින් අදාළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට යෝජිත සංශෝධන කිහිපයක් අන්තර්ගතව තිබෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දන්වා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් දන්වා සිටියේ අදාළ සංශෝධන තුළින් යෝජිත බද්දෙන් සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි.

වාර්ෂිකව රුපියල් මිලියන දෙදහකට වැඩි ආදායමක් උපයන සමාගම් වලින් 25% ක අධිභාර බද්දක් අයකිරීමට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය ඇතූළු පාර්ශව 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *