රතු නිවේදන නිකුත් කළ ජල සැපයුම් විසන්ධි කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – රතු නිවේදන නිකුත් කළ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීමට ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

මාර්තු මාසයේදී ජල සැපයුම් විසන්ධි කිරීම් වැඩිපුර සිදුකරන බව එහි සමාන්‍යාධිකාරි (අය කිරීම්) ඒකනායක විරසිංහ මහතා ඊයේ (10) සඳහන් කළේය.

ජල බිල්පත නිකුත් කර දින 30කදී ගාස්තුව ගෙවිය යුතු බවට 1978 අංක 02 දරන පනතින් ජල පාරිභෝගිකයන්ට නියෝගයක් නිකුත් කර තිබෙන බැවින් රතු නිවේදන නිකුත් කර පැය 48ක් ඇතුළත බිල්පත් ගෙවීම සිදු කළ යුතුය.

ඉකුත් ජනවාරි මාසය වනවිට පාරිභෝගිකයන් විසින් ගෙවීම පැහැර ඇති මුදල රුපියල් මිලියන 7200ක් පමණ බවත් මේ වනවිට එම මුදල රුපියල් මිලියන 6000ක් පමණ බවත් සමාන්‍යාධිකාරිවරයා පැවසීය.

ජල සැපයුම විසන්ධි කිරීමෙන් පසු නැවත සම්බන්ධතාවය ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයන් විසින් රුපියල් 1080ක්ද, රාජ්‍ය/පෞද්ගලික/ පූජනීය ස්ථාන/වාණිජ ආයතනවලින් රුපියල් 3240ක් ද අය කර ගන්නා බවද හෙතෙම කීය.

පාරිභෝගිකයන් ලක්ෂ 15ක පමණ පිරිසක් ජල බිල්පත් ගෙවීම මාස ගණනකින් ප්‍රමාද කිරීම හේතුවෙන් දෛනිකව පානීය ජලය සැපයීමේ මූල්‍ය අර්බුදයට ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය මුහුණ පා සිටින බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *