කැළණිතිස්ස බලාගාරයට තාප බලාගාරයක්

(කොළඹ, ලංකාපුවත්) – කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

දෛනික විදුලි ඉල්ලුම හමුවේ රට මේ වනවිට මුහුණ දී තිබෙන අභියෝගාත්මක වාතාවරණය ලිහිල් කිරීම වෙනුවෙන් කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරයන්හි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී මේ බව කියා සිටියාය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී කැළණිතිස්ස, සුජිට්සු, ඒශියා පවර්, සපුගස්කන්ද සහ කොළඹ වරායේ ස්ථාපිතකොට ඇති බාජ් විදුලි බලාගාරවල සහ බත්තරමුල්ල පිහිටි පද්ධති පාලන ඒකකයේ වර්තමාන තත්ත්වය විෂයභාර අමාත්‍යවරිය විසින් නිරීක්ෂණය කල අතර එම බලාගාරයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් බලපා ඇති ගැටලු මෙන්ම කාර්ය මණ්ඩල මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමුවිය.

“නිවාස පියසි යොදාගනිමින් සූර්ය විදුලිබල උත්පාදනය විදිමත් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදහස් කර ඇති අතරම ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුධය මගහරවා ගැනීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නවා. ඒ යටතේ කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105 ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නවා” යැයි විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන්ත අබේසේකර, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *