ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සැම දෙන එක්ව කටයුතු කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපති මන්දිරයේදී ඊයේ (23) පැවැති සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කළේය:

සියලු පක්ෂවල නායකයන් මේ සමුළුවට සහභාගී වීම ගැන මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන් මේ සමුළුව කැඳවූයේ අවංක ප්‍රයත්නයක් ලෙසයි. අද රටක් වශයෙන් මුහුණ දෙන ගැටලුවලට කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් විසඳුම් සෙවිය යුතුයි. දේශපාලන වශයෙන් බලන්නේ නැතිව අවංක හැඟීමකින් යුක්තව මේ සමුළුව කැඳවූයේ සෑම පක්ෂයකම එකඟතාව පරිදි මේ ගැටලුවට විසඳුම් හොයන්නයි. අද මේ සමුළුවට සහභාගී නොවන අනෙක් පක්ෂ නායකයන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා අපත් සමඟ එකතු වෙලා ගැටලුවලට විසැඳුම් හොයලා මේ රට ඉදිරියට ගෙන යන්න දායක වෙන්න කියලා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා –

අද අප හමුවේ පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක්. කොවිඩ් වසංගතයෙන් වසර දෙකක් තිස්සේ ලෝකයම බැට කෑවා. සමහර රටවල් වසංගතය හමුවේ ශක්තිමත්ව සිටින විට තවත් රටවල් දුර්වල වුණා. ශ්‍රී ලංකාව වගේ රටවල පැවැති දුර්වල ආර්ථිකය මේ වසංගතයෙන් පස්සේ තවත් දුර්වල වුණා. 2015 -2019 කාලයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7 සිට සියයට 2 දක්වා පහත වැටුණා. ඒ වගේම විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් බිලියනය දක්වා පහත වැටුණා.

ඒ වගේම කොවිඩ් වසංගතයෙන් මිදෙන්න ගත් රට අගුළු දැමීම වගේ ක්‍රියාමාර්ග නිසා රටට මුදල් ගලා ඒම තවත් අඩුවුණා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ඩොලර් බිලියන 4.5ක පමණ ආදායම බින්දුවට වැටුණා. තෙල් බැරලය ඩොලර් 130 දක්වා ඉහළ යෑම රටේ වියදම ඉහළ යන්න බලපෑවා. ජලාශවල ජල මට්ටම අඩු වීමත් ඉන්ධන හිඟයත් නිසා විදුලි කප්පාදුවකටත් මුහුණ දෙන්න අපට සිදුව තිබෙනවා. 2015- 2019 කාලයේ විදෙස් ණය ඩොලර් බිලියන 23 සිට 38.7 දක්වා සියයට 65කින් වැඩි වෙලා තිබෙනවා. ණය සේවාකරණයට 2014දී අවශ්‍ය වුණේ ඩොලර් බිලියන 2යි. මේ වන විට අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ණය සේවාකරණයට අවශ්‍ය ඩොලර් බිලියන 6ක මුදල සොයාගැනීමයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා-

අපි මෙතැනට ආවේ පටු දේශපාලන වුවමනා තියාගෙන නොවෙයි. නමුත් මහ බැංකු අධිපතිතුමාගේ කතාව පටන් ගත්තෙම පසුගිය ආණ්ඩුවලට චෝදනා එල්ල කරමින්. ඒ ගැන කනගාටු වෙනවා.

ජනාධිපතිවරයා – මෙතැනදි කෙරුණු යම් ප්‍රකාශයක් නිසා ඔබතුමාගේ සිත රිදුණා නම් ඒ ගැන කනගාටු වෙනවා. අපි කිසිවකුට චෝදනා කරන්න නොවෙයි මේ එක්රැස් වෙලා ඉන්නේ. අවුරුදු 74ක් තිස්සේ විවිධ ආණ්ඩුවලින් සිදුවූ අඩුපාඩු නිසා තමයි අද රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ.

රනිල් වික්‍රමසිංහ මහතා –

නිදහස් වෙළෙඳපොළ පසුගිය වසර දෙකේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ආපහු හැරිලා තියෙනවා. නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ විකෘති කිරීම් හේතුවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ පාරිභෝජනයට බාධා ඇති විය. අපේ කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටී ඇති අතර එය සැකසුම් කර්මාන්තයට බලපා ඇත. ශ්‍රී ලංකාවට මේ අර්බුදයෙන් ගොඩඒමට අවම වශයෙන් වසර පහක් ගතවේ. අප මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක තමයි ඉදිරි වසර දෙක තුළ ආර්ථික ස්ථාවර කිරීම සහ ආර්ථික ප්‍රකෘතිය තහවුරු කිරීම. රට සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති පිළිබඳ පාර්ලිමේන්තුවේ පක්ෂ ජාතික සම්මුතියකට පැමිණිය යුතුයි. මෙය විවෘත සංවාදයක් විය යුතුය. එහිදී රජය පෙරමුණ ගත යුතු අතර විපක්ෂය ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතුයි. අදාළ දත්ත අපට ලබාදීමට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා –

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාවක් අප සතුව නැහැ. ඩ්‍රාෆ්ට් එකක් විතරයි තියෙන්නේ. ඩ්‍රාෆ්ට් එකට අපි අපේ නිරීක්ෂණ දුන්නා. එය මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමත විය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා –

කෙටිකාලීනව ආර්ථිකය සවිමත් කරන්නට අපි කටයුතු කළ යුතුයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අවම වශයෙන් මාස හයක් ගත වෙනවා. ඉන්දීය ණය වෙතින් ලැබෙන සහන ප්‍රතිලාභ මැයි මස මුල් සති දෙකෙන් ඔබ්බට නොයනු ඇත. ඉතිරි මාස හතර සඳහා රජය අරමුදල් සොයා ගත යුතුය. අපට ඇත්තේ එකම විකල්පයකි. එය නම් සම්මුතියක් පිහිටුවා මූල්‍ය ආධාර ඉල්ලා සිටින සහ නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට උපකාර කළ හැකි මිත්‍ර ජාතීන් කිහිපයක් වෙත ළඟාවීමයි. මේ රටවලට ඉන්දියාව, ජපානය, චීනය සහ යුරෝපීය සංගමය ඇතුළත් විය යුතුයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන්-

දෙමළ ජනතාව වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් දීමට අවශ්‍යයි. යුද්ධය අවසන් කළ නමුත් දෙමළ ජනතාවට විසඳුමක් දෙන්නට රජයට හැකි වුණාද කියන එක ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂ මහතා එදා පොරොන්දු වුණා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න. නමුත් ඒක කෙරුණේ නැහැ. දෙමළ ජනතාවට සාධාරණ විසඳුම් යෝජනා කරන්නේ නම් මේ අර්බුදයෙන් ගොඩ ඒමට රජයට උපකාර කිරීමට අපි සූදානම්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා-

අප මේ සමුළුවට සහභාගී වන්නේ ඉතාම සද්භාවයෙන්. ජනතාව වෙනුවෙන් කළ හැකි අබ පියල්ලක දෙයක් වෙත්නම් ඒක කරන්න අපි සූදානම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත ජනාධිපතිතුමා මේ සමුළුව කැඳවීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ආර්ථිකය කඩා වැටීම ඇතුළු කාරණා ගැන අපි ජනතාව දැනුවත් කළ යුතුයි. හිටපු මහ බැංකු ප්‍රධානීන්, ආර්ථික උපදේශකයන්, මුදල් මණ්ඩල, මුදල් අමාත්‍යාංශ වගකිවයුත්තන් ආර්ථික අර්බුදයක් පිළිබඳ නිවැරැදි තොරතුරු කල්තියා අනාවරණය නොකිරීම බරපතළ තත්ත්වයක්. 2022 අය-වැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර නව පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ යුතුයි. ආර්ථික අර්බුදයේ ආසන්නතම අතුරු ඵලය ලෙස කෙටිකාලීන හා දිගුකාලීන තදබල සෞඛ්‍ය ප්‍රශ්න උග්‍ර වනු ඇත. අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය නොකිරීමෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර වනු නොඅනුමානය. ලෝක වෙළෙඳපොළේ හැසිරීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල නියාමනය සඳහා ඉන්ධන මිල සූත්‍රය නැවත ක්‍රියාත්මක කළ යුතුය. විදුලි නිෂ්පාදනයට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම කඩිනම් කළ යුතුය. රාජ්‍ය අංශයේ සියලු තලයන්හි සිදුවන දූෂණ අක්‍රමිකතා හා වංචා වැළැක්වීමට පූර්ණ බලතල සහිත ප්‍රවීණයන්ගෙන් සමන්විත කොමිසමක් වහා ස්ථාපිත කළ යුතු බවත් අපි යෝජනා කරමු.

මහජන එක්සත් පෙරමුණේ උප සභාපති, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා-

කරුණු දහයකින් සමන්විත යොජනාවලියක් අපි ඉදිරිපත් කර තිබෙනවා. විදෙස් විනිමය අර්බුදය විසැඳීමට පුළුල් අන්තර්ජාතික සහයෝගය ලබාගැනීම, ඉන්ධන හිඟයට ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හඳුන්වා දීම, ආහාර අතින් ස්වයංපෝෂිත වීම යන කරුණු එහි අඩංගු වෙනවා.

ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා-

අප රට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව පැහැදිලියි. මේක පැහැදිලිව රට හමුවේ ඉදිරිපත් කළ යුතුයි. ජනතාවගෙන් හංගන්න දෙයක් නැහැ. දරිද්‍රතාව රේඛාවට අඩු ආදායමක් ලබන පවුල් සියයට 60කට වඩා ඉන්නවා. මේ අයට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් ආදායමක් නැහැ. සියයට 14ට තිබ්බ මන්දපෝෂණය සියයට 18 දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ තත්ත්වයෙන් මිදීමට ක්ෂණිකව පියවර ගත යුතුයි. ආහාර මල්ලක් දෙන තැනකට රට ඇවිත් තිබෙනවා. වියළි ආහාර මල්ලක් සෑම සතියකම දෙන්න කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි-

නිදහසින් පසු අහන්න ලැබුණු බරපතළම තත්ත්වයට අද රට පත්ව තිබෙනවා. අපි පක්ෂ 11ක් ලෙස නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. මම මෙතැන අදහස් දක්වන්නේ ඒ පක්ෂ 11 නායකයන් වෙනුවෙන්. මේ අවස්ථාවේ සම්ප්‍රදායක විසඳුම් හරියන්නේ නැහැ. අපි විකල්ප විසැඳුම්වලට යන්න ඕනේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න පෙර අපේ සැලසුම, අපේ දැක්ම, අපේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන විද්‍යාත්මක සලකා බැලීමක් අවශ්‍යයි.

මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා-

සර්ව පාක්ෂික සමුළුවක් සංවිධාන කිරීම ගැන අප සතුටු වෙනවා. අපේ යෝජනාවලිය ජනාධිපතිතුමාට මේ වන විටත් දී තිබෙනවා. මේ සමුළුව ආර්ථික අර්බුදයෙන් මුදාගන්නා තෙක් ඉදිරියට ගමන් කළ යුතුයි. ජාතික ආර්ථික සභාව සහ එහි උපදේශක කමිටුව මේකට බද්ධ කරන්න ඕනේ. ස්වේඡාවෙන් සම්බන්ධ වෙන්න කැමැති අයට සම්බන්ධ විය හැකි ජාතික මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා-

ආර්ථිකය ස්ථායි කරන කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. අපි මේ ගැන යෝජනාවලියක් කලින් සකස් කළා. අපේ ණය හිමියන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කතා කරනවා නම් පූර්ව සැලැස්මක් තියෙන්න ඕනෑ. ණය කළමනාකරණය ගැන විශේෂඥයන්ගේ දැනුමත් අවශ්‍ය වෙනවා. සංවර්ධන යෝජනා ක්‍රම ගැන නැවැත සලකා බලන්න ඕනේ. ඩයස්පෝරාවේ මුදල් මේ රටේ ආයෝජනය කරන්න කැමැත්තෙන් ඉන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා-

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මෙතැන ඉන්න ළාබාලතම පක්ෂය. අද ඉදිරිපත් කෙරුණු කාරණා ගැන රජයක් වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බලශක්තිය සහ ආහාර සම්බන්ධයෙන් කිසිවකු මතවත් යැපෙන්න අප සූදානම් නැහැ. රටේ ස්වෛරීත්වය රැක ගන්න ඕනෑ නම් අප බලශක්තියෙන් සහ ආහාරවලින් ස්වයංපෝෂිත වෙන්න ඕනෑ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේ රටට අලුත් දෙයක් නොවෙයි. ඔවුන්ගේ කාර්යාලයකුත් අපේ රටේ තිබෙනවා. අවුරුදු පතා ඔවුන් මේ රටේ ආර්ථිකය ගැන වාර්තාවක් දෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කීවේ ඒ වාර්තාව ගැනයි. එය ඔවුන් අනුමත කර එවූ විගස ලබාදෙන්න අපට පුළුවන්.

පළමු වතාවට තමයි අපට ණය කළමනාකරණය කරන්න වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තීන්දු දෙකක් කැබිනට් මණ්ඩලයේදී ගත්තා. එකක් තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගැන කතා කරන්න තාක්ෂණික කමිටුවක් පත් කිරීම, ණය පිළිබඳ ගනු-දෙනු කරන්න සුදුස්සන් රටේ නැහැ. ප්‍රතිව්‍යහුගත කියන වචනය භාවිත කරන්න මම කැමැති නැහැ. ජී. එල්. පීරිස්, අලි සබ්රි, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ණය කළමනාකරණය කරන්න සුදුස්සන් හොයන කමිටුවක් පත් කළා. මුදල් ඇමැතිවරයා ලෙස මම ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. විනිවිදභාවයෙන් යුක්තව සුදුස්සන් තෝරන්න අප අවස්ථාව දෙනවා.

උතුරු නැගෙනහිර වැඩි දෙනෙක් මේ සමුළුවට සහභාගී වී තිබෙනවා. අපට උතුරු-නැඟෙනහිර පැහැදිලි ජනවරමක් ලැබුණේ නැහැ ජනාධිපතිතුමනි. නමුත් ඒ අය අද සමුළුවට ඇවිත් තිබෙනවා. ඒක ඔබතුමා ලැබූ ජයග්‍රහණයක්. ඔවුන් මතු කළ කාරණා සම්බන්ධයෙන් අප පක්ෂයක් ලෙස සලකා බලන්න අවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *