අලුත් අවුරුද්දට සහන පැකේජයක්

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන රාශියක් දීමට ආණ්ඩුව සූදානම් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුවට ජනාධිපති මන්දිරයේදී ඊයේ (23) එක් වෙමින් ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික සමුළුවේදී යෝජනා කෙරුණු පරිදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව නව අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවත් ඇමැතිවරයා පැවසීය.

වර්තමාන ආර්ථික අර්බුද හමුවේ ජනතාව විඳින දුක හොඳින් දන්නා ආණ්ඩුවක් වශයෙන් ජනතාවට උපරිම සහන දීමට කිසිසේත් පසුබට නොවන බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සහන මල්ලක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාව කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව පැවසූ රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැතිවරයා සමඟ මේ වන විටත් ඒ ගැන සාකච්ඡා කර ඇති බවත් පැවසීය.

බලශක්තිය සහ ආහාර සම්බන්ධයෙන් කිසිවකු මත යැපීමට ආණ්ඩුව සූදානම් නැති බව අවධාරණය කළ ඇමැතිවරයා කෙටි කලක් තුළ පුනර්ජනනීය බලශක්තියෙන් මෙන්ම ආහාර අතින් ස්වයංපෝෂිත කිරීමටත් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

රටේ ණය කළමනාකරණය කිරීමට සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බව පැවසූ රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් ණය කළමනාකරණය කිරීමට සුදුස්සකු තෝරා ගැනීමට විදේශ කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇති බවත් පැවසීය.

ණය කළමනාකරණය කිරීමට සුදුස්සන් මෙරට නැති බව පැවසූ රාජපක්ෂ මහතා විනිවිදභාවයෙන් යුක්තව සුදුස්සකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *