බූස්ටර් එන්නත ලබා ගැනීමට උනන්දු කිරීම දිගටම

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 – බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම දිගටම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින් කරන ලද යෝජනාවක් සඳහා අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලය පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම සිදු කළ බවයි. මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන අධිකාරීයේ මැදිහත්වීම නිසා මුල් කාලයේ යම් ගැටළු මතුවූ නමුත් මේ වන විට ඇතැම් ප්‍රදේශ වල දේශපාලන අධිකාරීයේ සහයෝගය නිසා එන්නත්කරණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති බවද පෙන්වා දුන්නේය.

එයට අමතරව යම් සංවිධානාත්මක පිරිස් විසින් බූස්ටර් එන්නත නොගන්නා ලෙසට ගෙන යන මතය හේතුවෙන්ද එන්නත්කරණයේ යම් පසුබෑමක් සිදුවී ඇති බවද කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියළු මාධ්‍ය නාලිකා, රාජ්‍ය අංශය සහ දේශපාලන අධිකාරිය එකතු වී මේ පිළිබඳ කටයුතු කිරීමෙන් එන්නත්කරණය සාර්ථක කර ගත හැකි බවයි.

එක් නගරසභා බල ප්‍රදේශයක් තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් පැවතීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ජ්‍යේෂ්ඨත්වය තීරණය කිරීම පිළිබඳ ගැ‍ටළුවක් පවතින බව මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම එක් නගරසභා බල ප්‍රදේශයක් තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සේවය කිරීමේදී
පොදු අවශ්‍යතාවන්හිදී තීරණ ගැනීමේ ගැටළුවක් පවතින බවද අවධාරණය විය.

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරිම පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරයන් විසින් අදහස් දැක්වූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේ දියතලාව සහ බදුල්ල රෝහල් දෙකක් තිබියදී බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ ගැටළුවක් පවතින බවයි. ඒ වෙනුවට දියතලාව රෝහලේ පිහිටුවා නොමැති ඒකක පමණක් බණ්ඩාරවෙල රෝහලෙහි පිහිටුවීමට අවධානය යොමු වී ඇති බවද තවදුරටත් හෙතෙම සඳහන් කළේය. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමා බණ්ඩාරවෙල රෝහල වෙත ගොස් පරීක්ෂා කර බලා ඒ පිළිබඳ තීරණයක් ලබා දෙන බවයි.

මාතර මහ රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය භාවිතයට ගත නොහැකි තත්ත්වයෙන් අබලන්ව පැවතීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන බවයි.

බණ්ඩාරගම ඔසුසලෙහි ඉහළ මාලය බණ්ඩාරගම රෝහල විසින් භාවිත කිරිම නිසා ඔසු සලෙහි ‍‍‍ඖෂධ ගබඩා කිරීමේ ගැටළුවක් මතුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය. රෝහල විසින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් අනතුරුව නැවත භාරදෙන බවට එකඟ වී ලබා ගත් අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මාලය නැවත ඔසු සල වෙත ලබා දෙන ලෙස මන්ත්‍රීවරු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. මෙහිදී අමාත්‍යවරයා එකඟ වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කොට ඒ සඳහා විසඳුමක් ලබා දෙන බවයි.

යාපනේ ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ විශාල හිගයක් පවතින බවද මෙහිදී සාකච්ඡා විය. හෙද කාර්ය මණ්ඩල සඳහා පුද්ගලයන් බඳවා ගැන‍ීමේදී පවතින පුරප්පාඩු පිරවීම සහ නව පුරප්පාඩු ඇති කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් මෙන්මසෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුලු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *