ශාක සනීපාරක්ෂක සහතිකය වැඩිදියුණුවට ජපානයෙන් යෙන් මිලියන 500ක්

(කොළඹ, ලංකාපුවත්) –ජපන් ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමට එරට රජය එකඟත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ශාක ස්වස්ථතා සහතිකකරණය (Phytosanitary Certification in Sri Lanka) වැඩි දියුණු කිරීම තුළින් ඉක්මනින් නරක් වන ශාකමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම උදෙසා එම ප්‍රදානය හිමිවේ.

මුදල් අමාත්‍ය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ජාතික ශාක නිරෝධායන සේවය, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සහ ඊට අදාළ වෙළඳ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා රෝග හා පළිබෝධවලින් තොර නිරෝගී ශාක සහ ශාක නිෂ්පාදන, ජාත්‍යන්තර මට්ටමෙන් වෙළෙදාම් කිරීම සඳහා පහසුකම් සලසනු ලැබේ.

අපනයන සහතිකය ශක්තිමත් කිරීම මෙන්ම ආනයන පරීක්ෂා කිරීම සඳහා රට තුළට ඇතුළුවන සහ පිටවන ස්ථානවල නිශ්චිත පළිබෝධ රෝග විනිශ්චය සඳහා අවශ්‍යතා සපුරාලීම හරහා ශාක සනීපාරක්‍ෂක සහතික කිරීමේ පහසුකම තවදුරටත් වැඩිදියුණු කිරීමට එම ආයතනය අපේක්ෂා කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත, රට තුළ අපනයන සහතික කිරීම පහසු කිරීම සඳහා රෝග විනිශ්චය ශිල්පීය ක්‍රම සහ ශාක සනීපාරක්‍ෂක පරීක්‍ෂණ සේවා ශක්තිමත් කිරීම සඳහා උපකරණ සැපයීම සඳහා ජපන් රජයේ එකඟත්වය පළ කර තිබේ.

එම ප්‍රදානයට අදාළ සටහන් හුවමාරුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල මහතා සහ ජපාන රජයේ තානාපති  හිදෙයකි මිසුකොශි මහතා විසින් අද මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *