ඉන්දීය ඉන්ධන ආධාරය ටොන් 400,000ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –උද්ගත වී තිබෙන ඉන්ධන හිඟයට පිළියමක් ලෙස ඉන්දීය ආධාර යටතේ මෙරටට ලැබී තිබෙන ඉන්ධන තොගය මෙට්‍රික් ටොන් 400,000 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් රැගත් තවත් නෞකාවක් පෙරේදා (20) ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඒ අනුව මාස දෙකක පමණ කාලයකදී ඉන්දීය ආධාර මත මෙරටට ලැබී තිබෙන ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 400,000ට ආසන්න වේ.

පසුගිය මාර්තු මාසයේ සිට කොටස් වශයෙන් ඉන්ධන තොග ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර, ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට දීම සඳහා ඉන්දියාව එකඟතාව පළ කර තිබේ.

අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තියේ සිට ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම වෙනුවෙන් මේ ඉන්ධන දීම කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි. ඉන්දියානු ආනයන හා අපනයන බැංකුව සහ ශ්‍රී ලංකා රජය පසුගිය පෙබරවාරි 2 දා පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ගිවිසුමකට අත්සන් තැබීය.

මේ ගිවිසුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය එක්සිම් බැංකුවේ ප්‍රධාන සාමාන්‍යාධිකාරි ගව්රව් භණ්ඩරි මහත්වරු අත්සන් කළහ. ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමක් දීමට ද ඉන්දියාව පියවර ගත්තේය.

ඒ අනුව ගත් කල මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට සහන සැලසීමේ අපේක්ෂාවෙන් ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් ඉක්මවා ගිය ආධාර දී තිබෙන අතර, ඉන්ධන මිලදී ගැනීම, අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලදී ගැනීම ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් එම ආධාර දීමට පියවර ගෙන තිබෙන බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *