කටාරයේ සිර දඩුවම් විදි ශ්‍රී ලාංකිකයින් 20කට නිදහස

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයේ සේවයේ යෙදි සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඩුවම් විඳිමින් සිටින පුද්ගලයින් රැසකට එරට රජය මගින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයෙන් නිදහස ලබාදීමට තීරණය කර ඇත.

කටාර් රාජ්‍යයේ අමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයක් වශයෙන් විවිධ රටවල සිරකරුවන් රැසකට මෙම සමාව ලබාදී තිබේ.

ඒ අනුව විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී අධිකරණය මගින් දඩුවම් ලැබ බන්ධනාගාර ගතවූ ශ්‍රි ලාංකිකයින් 20 දෙනෙකුද එරට රජය මගින් නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේය.

සිර දඩුවම්වලට අමතරව මොවුන් විසින් එරට අධිකරණයට ගෙවිය යුතු මූල්‍ය දඩුවම්වලින්ද නිදහස් කොට තිබේ.

රාමසාන් වෙනුවෙන්, මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කටාර් රාජ්‍යයට සිය ප්‍රශංසාව පිරිනමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *