අපරාධ මර්දනයේ විශාල වෙනසක්‌ ඉදිරි මාස හය තුළ සිදු කරනවා

(කොළඹ | ලංකාපුවත්) –  ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනයේ විශාල වෙනසක්‌ සිදු කරන බවත්, ඒ ඉලක්කය සාර්ථක කරගැනීමට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹදී පැවති විශේෂ වැඩමුළුවකට එක් වෙමිනි.

අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ වැඩමුළුව පවත්වනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා:

“සියලු ප්‍රදේශවල ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම සඳහා නිශ්චිත කාල රාමුවක් අපි ලබාදුන්නා. යම් යම් හේතු මත ඒ සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ සඳහා අවශ්‍ය කාලය ලබා දුන්නත් මේ වන තුරුත් එය නිසි ආකාරයෙන් ඉෂ්ට වී නැති බවක් පෙනී යනවා. එහෙත් එලෙස කටයුතු කිරීම මාගේ ක්‍රමවේදය නොවෙයි. යම්කිසි තීරණයක් ගත්විට එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. අපට ලැබී ඇති කෙටි කාලය තුළ විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කිරීමට අප සූදානම් වුවත් සියලු දෙනාම එක්ව එය සාර්ථක කරගැනීමට කටයුතු නොකළ හොත් එම ඉලක්ක වෙත ළඟාවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

“අප මේ කාර්යය ආරම්භ කළ යුත්තේ ප්‍රජා පොලිස් කමිටු ඇසුරෙන්. ප්‍රදේශ භාර නිලධාරීන්ට මේ කාර්යය නිසි ආකාරයෙන් ඉටු කිරීම පිළිබඳ විශාල වගකීමක් පැවරෙනවා. එම වගකීම භාර ගැනීමට නොහැකි අය සිටිනවා නම් එයින් ඉවත්වීමේ හැකියාව පවතිනවා. ප්‍රජා පොලිස් කමිටු මඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ගැනීමට අප බලාපොරොත්තු වනවා. එම නිසා සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් සති කිහිපයක් තුළ මෙම කාර්යය ඉටු කරනු ඇති බව මා බලාපොරොත්තු වෙනවා. ඒ කමිටු ක්‍රියාත්මක වීමත් සමඟ ප්‍රදේශයේ සියලුම මට්ටමේ නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙනවා. නිවැරදි ආකාරයෙන් මෙම සැලසුම් ක්‍රියාත්මක කළහොත් අපට පවතින අභියෝග 75%කට වඩා ජය ගැනීමට හැකියාව පවතිනවා.

“පළාතේ සිදු වන සියලු දේ සම්බන්ධ වගකීම ඒ ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි, පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිලධාරීන් වෙත පැවරෙනවා. මේ සෑම ප්‍රදේශයක් සම්බන්ධවම නිරීක්ෂණය කරමින් වාර්තා ලබා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. එම නිසා මේ සැලසුම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳව තදින් කටයුතු කිරීමට සිදු වනවා. මෙලෙස එකින් එක නව වෙනස්කම් සිදුවීමේදී ඇතැම් සමාජ මාධ්‍ය කුපිත වීමක් දක්නට ලැබෙනවා. අමාත්‍යවරයා ලෙස මටත්, පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන්ටත් දිගින් දිගටම මඩ ප්‍රහාර දියත් කරමින් පවතිනවා. මේ සියල්ල මෙහෙයවන්නේ පාතාලයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල් මඟින්.

“රටේ දරුවන් මවුපියන් වෙනුවෙන් කළ හැකි විශාලම මෙහෙවර වන්නේ මේ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය තුරන් කරදැමීමයි. ඇතැම් ප්‍රදේශවල බොහෝ සිදුවීම් සිදු වුවත් ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මත්ද්‍රව්‍ය, පාතාලය සමඟ සොරකම් ඇතුළු ක්‍රියාකාරකම්වලද වර්ධනයක් පෙනී යනවා. එම නිසා ඒ සම්බන්ධව නිසි ආකාරයෙන් පියවර ගැනීම පිළිබඳ වගකීම ඉහළ පොලිස් නිලධාරින් වෙත පැවරෙනවා. එලෙස කැපවන ඕනෑම නිලධාරියකු මුහුණ දෙන ගැටලුවකදී මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වන විටත් පොලිසිය වෙනුවෙන් සිදු කළ හැකි සෑම දෙයක්ම මා ඉටු කර දී තිබෙනවා. ඒ පහසුකම් නිසි ආකාරයෙන් ලබාදීම තුළින් මා බලාපොරොත්තු වන්නේ රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කිරීමයි.

“අමාත්‍යවරයා ලෙස මගේ ඉලක්කය වන්නේ ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනය කර විශාල වෙනසක්‌ සිදු කිරීමයි. ඒ ඉලක්කය සාර්ථක කරගැනීමට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට මා සූදානම්. මේ පණිවිඩය ජනතාව අතරටත් ගෙන යෑමට මා බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ජනතාවගේ දායකත්වය සහ සහයෝගයද ලබා ගැනීමට අප කටයුතු කරනවා. ජනතාව තමන් මුහුණ දෙන ගැටලුවකදී පොලිසියේ පිහිට පතන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නැති නිසායි. ඔවුන්ට සුහදශීලිව සැලකිය යුතුයි. එවිට අපගේ වැඩපිළිවෙළට ජනතාවගේ සහයෝගයත් අනිවාර්යයෙන් හිමිවනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *