සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්න

(කොළඹ | ලංකාපුවත්) – නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දෙනු ලැබීය.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ 2023. 12. 19 දින අරලියගහ මන්දරයේදී පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේය.

2024 වර්ෂයේදී පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය, ධීවර, පුනර්ජනණීය බල ශක්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

පළාත් සභාවලට අනුයුක්ත නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්, පුරප්පාඩු සම්පූර්ණ කිරීම්, නව බඳවා ගැනීම් හා පළාත් සභාවල අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කිරීම සම්බන්ධ ගැටලු ද අවධානයට ලක් කෙරිණි.

බහු කාර්ය සේවකයින් ස්ථානගත කිරීම, පළාත් මට්ටමින් සමූපකාර සමිති සංගම් ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහිදී වැඩිදුර සාකච්ඡාවට බඳුන් වූ අතර අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් පළාත්වල තවමත් සමූපකාර ප්‍රඥප්තිය සම්මත කිරීමට අසමත්ව ඇති බවයි. සමූපකාර ක්‍රමය පිළිබඳ කැබිනට් අනුකමිටුවක් සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පවතින නමුත් සමූපකාරය සතු ඇතැම් දේපොළ වෙන්දේසියට ලක් කරන තත්ත්වයට පත්ව ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මහජන කලකිරීම් වලට හේතුවන සමූපකාර දේපොළ වලට අත තැබීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. සමුපකාර ක්‍රියා පටිපාටියට අනුව කිරි නිෂ්පාදනය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් 2024 වසරේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

ඇතැම් පළාත්වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරුන් සහ මහජන නියෝජිතයින් අතර යම් මත ගැටුමක් නිර්මාණය වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබීය. ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාවත පැහැදිලි ලෙස නව අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සම සභාපතිවරුන් ලෙස දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන කටයුතු මෙහෙයවීම සිදු කළ යුතු බවයි.

දිස්ත්‍රික් මට්ටමෙන් සැලැස්මක් සකස් කරගෙන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ අයවැය ප්‍රතිපාදන මත පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මගින් රජයේ ප්‍රධාන ජාතික සංවර්ධන වැඩසටහන යටතේ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන ඉලක්ක කරමින් කටයුතු කළ යුතුව ඇත. නාස්තිය අවම කරමින් සංවර්ධන වැය ශීර්ෂ ඵලදායි කරමින් 2024 ඉලක්ක සපුරාලීම සඳහා විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල මූල්‍ය ප්‍රතිපාදන සහ ආදායම් මාර්ගද අයවැය ප්‍රතිපාදන සමග එක්කරමින් කඩිනම් සංවර්ධන ඉලක්ක කරා ගමන් කළ හැකිය. සෑම ග්‍රාම සේවා වසමකටම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක ඇතුළු සියලු පළාත් ලේකම්වරු, ඇතුළු රාජ්‍ය නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *