ජනාධිපති වෛද්‍යාධාර අරමුදලේ ප්‍රතිලාභ වැඩි කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබෙන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

රෝගී ජනතාව වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණිම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් ද 2024 සිට ක්‍රියාත්මකය.

දැනට කරාපිටිය රෝහලේ ක්‍රියාත්මක වන රාජකාරී වේලාවෙන් පසුව හෘද සැත්කම් කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මෙම වසරේ සිට වැඩි කරනු ලබන අතර මෙම ක්‍රමවේදය වෙනත් රෝහල් සඳහාද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ගෙවීම ද මෙම වසරේ සිට සිදු කෙරේ.

එසේම පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් සිදු කරන පිළිකා සැත්කම් සඳහා මෙතෙක් වෛද්‍යාධාර ලබා දී නොතිබු නමුත් මෙම වසරේ සිට ඒ සඳහා වෛද්‍යාධාර ගෙවීම සිදු කෙරේ.

පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලට අමතරව රජයේ රෝහල්වලින් ද සිදු කරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට පෙර හා පසු පිටතින් සිදුකර ගනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමට කටයුතු කෙරෙනු ඇත.

එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. එමඟින් වෛද්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යම පාන්තික ජනතාව සඳහා ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීමේ හැකියාව ලැබේ.

මේ අතර 2023 වසරේදී ද ජනතාව වෙනුවෙන් කඩිනම් සහ පුළුල් සේවාවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල කටයුතු කළ බව එහි ලේකම් සරත් කුමාර මහතා පැවසීය.

2022 අගෝස්තු මස සිට ගෙවීම් සිදු නොකර ගොඩගැසී තිබූ වෛද්‍යාධාර අයදුම්පත් 8000කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව එම වර්ෂය අවසන් වන විට වෛද්‍යාධාර අයදුම්පත් 12,000කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 1,342කි.

2023 වර්ෂය සඳහා වෛද්‍යාධාර අයදුම්පත් 3458ක් ලැබී තිබූ අතර එම අයදුම්පත් සියල්ලම සඳහා දැනට ගෙවිම් සිදු කර අවසන්ව තිබේ. ඒ සඳහා ගෙවන ලද මුදල රුපියල් මිලියන 844.7කි.

එසේම 2022 වර්ෂයේදී අ.පො.ස (සා.පෙළ) උසස් ලෙස සමත් වූ එහෙත් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා සහනයක් ලබාදිය යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එක් අධ්‍යාපන කොට්ඨාසයකින් 30 දෙනෙකු බැගින් දිවයින පුරා අධ්‍යාපන කොට්ඨාස 100 අතුරින් තෝරාගෙන මසකට රුපියල් 5000 බැගින් මාස 24ක් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඒ අනුව සෑම මසකම රාජකාරී සිදු කරන පළමු දින දෙක තුළ එම සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඒ බව කෙටි පණිවිඩයක් (SMS) මගින් දැනුම් දීමට පියවර ගෙන තිබේ. දැනට මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මාසික වාරික 10ක් ලබාදී ඇත.

එසේම මෙවර අ.පො.ස (සා.පෙළ) උසස් ලෙස සමත් වූ එහෙත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක් අධ්‍යාපන කොට්ඨාසයකින් 50 දෙනෙකු බැගින් අධ්‍යාපන කොට්ඨාස 100 අතුරින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් තෝරාගෙන මසකට රුපියල් 6000 බැගින් මාස 24ක් පුරාවට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

මේ අතර පසුගිය වර්ෂ දෙකෙහි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූ දිවයිනේ ඉහළ සමාර්ථ ලබාගත් සිසුන් දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතික මට්ටමින් තෝරාගෙන එම සිසුන් සඳහා මූල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 90 දෙනෙකු සඳහා රුපියල් මිලියන 31.5ක මූල්‍යමය ආධාර ලබාදී තිබේ.

දිළිඳු බවෙන් පෙළෙන එහෙත් ස්වයං රැකියාවක් සිදු කළ හැකි පවුල් ඒකක නගා සිටුවීම සඳහා ජනාධිපති අරමුදල විසින් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලැබීය. එසේම දිළිදු බවෙන් පෙළෙන එහෙත් ස්වයං රැකියාවක් හෝ වෙනත් කාර්යයක් සිදු කළ නොහැකි පවුල් ඒකක හඳුනාගෙන ඔවුන් සඳහා මාසිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහන් 2023 වසරේදී සාර්ථකව ක්‍රියාවට නංවන ලදී. ආගමික සහජීවනය පවත්වාගෙන යාම සඳහා මෙන්ම ආගමික කටයුතු සහ වෙනත් සමාජීය ක්‍රියාකාරකම් වෙනුවෙන් ද මූල්‍යමය දායකත්වයක් සපයා තිබේ.

තවද වෛද්‍යධාර ගෙවීමේ දී පැවති අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වෛද්‍යාධාර ප්‍රතිපූරණය කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය යාවත්කාලීන කරන ලද අතර නිසි පරිදි සම්පූර්ණ කර අඩුපාඩු රහිතව ජනාධිපති අරමුදල වෙත භාරදෙනු ලබන වෛද්‍යාධාර අයදුම්පතක් සඳහා වැඩ කරන දින තුනක් ඇතුලත ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මකව පවතී.

එමෙන්ම සැත්කම්/ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන රෝගීන් සඳහා අවශ්‍ය වගකීම් සහතික පැය කිහිපයක් ඇතුළත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ. ඒ අනුව එම රෝගීන් රෝහල් ගත වී වෛද්‍ය පහසුකම් ලබාගෙන රෝහල්වලින් පිටව යාමේදී අරමුදල විසින් ගෙවීමට එකඟ වූ මුදල එම වෛද්‍ය බිල්පත් වලින් අඩු කිරීමට රෝහල් විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව රෝගියෙකු/ අයදුම්කරුවෙක් මෙම කාර්යයන් ඉටුකර ගැනීම සඳහා එක් වරක් පමණක් ජනාධිපති අරමුදල වෙත පැමිණීම ප්‍රමාණවත් වන අතර කිසිදු අයදුම්කරුවෙකු අනවශ්‍ය ලෙස අරමුදල වෙත කැඳවිමට හෝ අපහසුතාවයට ලක්වීම සිදු නොවන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2024 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ආශිර්වාද පළ කරමින් පිරිත් සජ්ජායනාවක්ද ඊයේ (03) එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පිරිස පංච ශීලයේ පිහිටුවා සිදු කළ කෙටි අනුශාසනාවෙන් අනතුරුව ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනය ආරම්භ විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසල රුවන් වීරකෝන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *