ලංකාවේ පළමුවරට ධාන්‍ය බීජ වියලීමට Solar Tunnel Dryer තාක්‍ෂණය

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය නව බීජ වියලීමේ පද්ධතියක් හදුන්වා දී තිබේ.

මෙම නව බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක වන අතර එම පද්ධතිය Solar Tunnel Dryer ලෙස හඳුන්වන බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පැවසීය.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී පසුගියදා (23) විවෘත කරනු ලැබු අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම නව බීජ වියලීමේ පද්ධතිය විවෘත කරනු ලැබීය.

මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මකවීමයි. ඊට අමතරව මුළු ගබඩාවම වීදුරු ආවරණයකින් ආවරණය කර ඇති නිසා ස්වාභාවික හිරුඑළිය මෙන්ම සූර්ය රශ්මියද අඛණ්ඩවම ලැබේ. රාත්‍රි කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකිවේ.

එමෙන්ම බඩඉරිඟු හා වෙනත් ධාන්‍ය වියලීමේ දී ඇෆලටොක්සින් ඇති වීමේ අවදානමක් නිසි පරිදි ජලය ඉවත් නොවීම නිසා සිදුවිය හැකි වුවත් මෙම ධාන්‍ය වියලීමේ පද්ධතිය මගින් එවැනි අවදානමක් ද නැත. එසේම බීජ සඳහා යොදා ගන්නා බඩඉරිඟු වැනි ධාන්‍ය පැළ කිරීමට උචිත ලෙස වියළා ගැනීමට හැකි නිසා එම ධාන්‍ය පැළ නොවීමේ අවදානමක් ද නැත.

Solar Tunnel Dryer තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වතාවට බවත්, මේ වනවිට මෙම අත්හදා බැලීම් සියයට සියයක්ම සාර්ථකව ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෝහාන් විජේකොන් මහතා පැවසීය. මෙම නව සොයා ගැනීම මුළුමනින්ම අප රට සතුවේ.

වව්නියාව බඩඉරිඟු බීජ නිෂ්පාදන හා සැකසුම් මධ්‍යස්ථානය ද මීට සමගාමීව විවෘත කළ අතර මෙම සැකසුම් මධ්‍යස්ථානය විසින් රටට අවශ්‍ය බඩඉරිඟු බීජවලින් සියයට 20ක් නිපදවනු ලබයි. මීට අමතරව අම්පාර පිහිටුවා ඇති බඩඉරිඟු බීජ සැකසුම් මධ්‍යස්ථානය මගින් තවත් සියයට 20ක් නිපදවන අතර රටේ සමස්ත බඩඉරිඟු බීජ අවශ්‍යතාවයෙන් සියයට 40ක් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ගොවීන් 600ක් අක්කර 600ක බීජ බඩඉරිඟු නිෂ්පාදනයේ යෙදී සිටිති.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නව තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීම සඳහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් රුපියල් මිලියන 2500ක අමතර මුදලක් ලබා දී ඇතැයි සඳහන් කළේය. එම මුදලින් රුපියල් මිලියන 100ක් බැගින් සියලුම දිස්ත්‍රික්කවලට වෙන් කරන අතර සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් තෝරාගෙන එක් කොට්ඨාසයකට රුපියල් මිලියන 25ක් බැගින් ලබා දෙන බව ද කීය.

විශේෂයෙන් නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හදුන්වා දීම සඳහා මෙම මුදල් ගරු ජනාධිපතිතුමන් විසින් ලබා දෙන ලද්දේ අයවැයෙන් වෙන් කරන ලද මුදලට අමතරව බව ද ඇමැතිවරයා පැවසීය.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් බීජ වියලීම සඳහා සකස් කරන ලද නව තාක්ෂණ යෙදවුම ඉතාමත් සාර්ථක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *