ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට ඉමහත් පැහැදීමක් තිබෙනවා

(කොළඹ | ලංකාපුවත්) –  “අසල්වාසීන් ඉන්දියාවට වැදගත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඉමහත් හොඳ හිතක් තිබෙනවා.” ඉන්දීය විදේශ ඇමැති, ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ පවසා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර අරලියගහ මන්දිරයේ ඊයේ (20) පැවැති හමුවේ දී ඉන්දීය විදේශ ඇමැතිවරයා එසේ සඳහන් කර ඇත.

භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අගමැතිවරයා ආචාර්ය ජයශංකර්ට සුබ පැතූ අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළේය.

කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසු මෑත දුෂ්කර කාලවලදී ලබා දුන් සහාය වෙනුවෙන් අගමැතිවරයා ඉන්දියාවට ස්තූති කළේය.

ශ්‍රී ලංකාව වැනි අසල්වැසියන් ඉන්දියාවට අතිශයින් වැදගත් බවත් ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඉමහත් හොඳ හිතක් පවතින බවත් ඇමැති ජයශංකර් මහතා පැවැසීය. ඉන්දීය රජය ‟අසල්වැසියා පළමුව″ යන ප්‍රතිපත්තිය යළි තහවුරු කරන බවත් තම සංචාරයේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව සිය සමීපතම සමුද්‍රීය අසල්වැසියා සහ මිතුරා ලෙස ඉන්දියාවේ අඛණ්ඩව කැපවීම අවධාරණය කිරීම බවත් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා අවධාරණය කළේය.

අගමැතිවරයා සහ ඉන්දීය ඇමැතිවරයා මෙරට ඉන්දීය ආයෝජන, සංවර්ධන ව්‍යාපෘති, සම්බන්ධතා ව්‍යාපෘති සහ විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දීය දූත පිරිසට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉන්දියානු සාගර කලාපය) පුනීත් අගර්වාල් සහ සම ලේකම් සන්දීප් කුමාර් බයාපු, නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ මහත්වරු එක්ව සිටියහ.

මෙම අවස්ථාවට ඇමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, අගමැති උපදේශක සුගීස්වර සේනාධිර, විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව) නිලූක කදුරුගමුව මහත්වරුන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *