විදේශ රැකියා ආයතන 200ක් තහනම් කරලා

(කොළඹ | ලංකාපුවත්) –  විවිධ අක්‍රමිකතා මත විදේශ රැකියා ආයතන දෙසීයක බලපත්‍ර තහනම් කර තිබෙන බවද තවත් ආයතන හාරසියයක බලපත්‍ර අත්හිටුවා පරීක්ෂණ පැවැත්වෙන බවද ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය 2019 වසරේ සිට මේ දක්වා කාන්තා ශ්‍රමිකයන් හාරලක්ෂ හැටහතර දහස් එකසියතිස් දෙදෙනෙක් විදෙස් ගත වී සිටින බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා එහිදී කීය.

ඒ අතරින් තුන්ලක්ෂ එක්දහස් එකසිය අසූඅට දෙනෙක් ගෘහ සේවය සඳහාත් වෙනත් රැකියාවලට සෙසු එක් ලක්ෂ හැටදෙදහස් නවසිය හතළිස්හතර දෙනා පිටත්ව ගොස් තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.

එමෙන්ම මේ අතරින් තුන්ලක්ෂ හැට දෙදහස් නවසිය හතළිස්තුන්දෙනෙක් පුහුණු ශ්‍රමිකයන් බවත් එක් ලක්ෂ එක් දහස් එකසිය අනූනව දෙනෙක් නුපුහුණු ශ්‍රමිකයන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *