(කොළඹ | ලංකාපුවත්) – අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
එසේම මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළේය.
අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී පසුගියදා(26) පැවති උත්සවයට එක්වෙමිනි.
ඩිජිටල්කරණය රට තුළ ව්‍යාප්ත කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව තාක්ෂණ අමාත්‍යාංශය විසින් “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” ක්‍රියාත්මක කර තිබෙන අතර, යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, නිපුණතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සයිබර් ආරක්ෂාව, ආරක්ෂාව සහ පෞදගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, සම්බන්ධිත ඩිජිටල් රජය, කර්මාන්ත අංශ සහ ඩිජිටල්කරණය යන මූලික කුලුණු 06ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
මෙම කුලුණු යටතේ ඩිජිටල්කරණය බිම් මට්ටමට ගෙනයෑමේ මූලික අදියර කෑගලු දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42කට හා පාසල් 62කට සුහුරු පන්ති කාමර උපකරණ කට්ටල බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.
රඹුක්කන පරාක්‍රම විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මෙහිදී සිසු දරුවන් විසින් මහත් හරසරින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබිණි.
මේ අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ QR කේත ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් පින්නවල සත්වොද්‍යාන පරිශ්‍රයේ අද (26)පැවති උත්සවයට ද ජනාධිපතිවරයා එක් විය.
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ව්‍යාපෘති 07ක් සංවර්ධනය කිරීමට නියමිතය. ඒ යටතේ හිරිවඩුන්න පාලම අසල සිට පින්නවල අලි අනාතාගාරය දක්වා මං තීරුව සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය හා පින්නවල සත්වෝද්‍යානය අවට වීථි පහන් සවිකිරීම, පින්නවල ඉපැරණිගම සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙසට වැඩි දියුණු කිරීම, දැලිවල කොටවෙහෙර විහාරස්ථානය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය අසල රථ වාහන නැවතුම්පොළ සහ යෝජිත කඩ සාප්පු සංකීර්ණය සංවර්ධන කිරීම, පින්නවල සත්වෝද්‍යාන රථගාල හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැවති DIGIECON ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් වූ අතර QR කේතය මඟින් ගෙවීම් නිල වශයෙන් ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
පින්නවල වාගොල්ල කෘෂි පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.
ව්‍යවසායකයින් ට SLS සහතික පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,
අද මෙම පාසලට පැමිණෙන විට මම පාසල් ගිය කාලය මට සිහිපත් වුණා. එදා අපට තිබුණේ කළු ලෑල්ල සහ, හුණු කෑල්ල පමණයි. එදා මෙම පහසුකම් තිබුණේ නැහැ. මම පළමුවරට පරිගණකයක් දුටුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිම කිරීමෙන් පසුවයි. අද ඔබට නවීන උපකරණ සහිත සුහුරු පන්ති කාමර ලැබී තිබෙනවා. අද ලෝකය සෑම අංශයකින්ම සීග්‍රයෙන් වෙනස් වෙනවා. අපත් ඒ වෙනසට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබාගත යුතුයි.
මේ රට බංකොළොත්ව පැවති සමයේ දී එම බංකොලොත්භාවයෙන් නිදහස් වීමෙන් පසුව අප රටක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද කියා මම සිතුවා. ඒ වගේම අපට අවශ්‍ය විදේශ විනිමය සොයා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තිබුණා. නව තාක්ෂණ දැනුම සමඟ ඩිජිටල් ආර්ථිකයකට අප කඩිනමින් ගමන් කළයුතු බව එහිදී අප තීරණය කළා. අප දැන් සිටම ඒ සඳහා කටයුතු කළයුතුයි.
කෘෂිකර්ම සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළට මෙන්ම පාසල් තුළට ඩිජිටල්කරණය ගෙන ඒමට ඒ අනුව අප පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පාසල් සහ පිරිවෙන්වල මෙම සුහුරු පන්ති කාමර ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවලට ද මෙහි ප්‍රතිලාභය ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණ එම වැඩකටයුතු ආරම්භ කිරීමට මම ඊලෝන් මස්ක් මහතාට ආරාධනා කළා. දැන් ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය නිකුත් කර තිබෙනවා. හැකි උපරිම අයුරින් තාක්ෂණ දැනුම ගමට ගෙන යාමට අප අපේක්ෂා කරනවා. එය භාවිතා කරමින් ඉදිරියට යාමට ඔබ සූදානම් විය යුතුයි.
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ඔබට මෙම තාක්ෂණ දැනුම භාවිතා කළ හැකියි. රට තුළ හරිත ආර්ථිතයක් සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කළ යුතුයි. පසුගිය බදාදා AI තාක්ෂණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා. එහිදී බොහෝ කතිකයන් කථා කළේ ChatGPT වෙතින් කරුණු අරගෙනයි. පාර්ලිමේන්තුව දැන් එවන් තත්ත්වයකට පත්ව තිබෙනවා. අප මෙම තාක්ෂණය නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතුයි.
ඒ වගේම ඇතැම් විට මෙම තාක්ෂණය භාවිතයෙන් ආගමික කරුණු විකෘති කිරීමට හැකියාව තිබෙනවා. එම ත්ත්ත්වයන් වැළැක්වීමට අදාළ නිති කෙටුම්පත් අප මේ වන විට සකස් කරගෙන යනවා. ඒ වගේම මෙම නව තාක්ෂණය හඳුන්වාදිමේ දී ඉන්දියාවේ සහාය ලබා ගැනීමට ද අප තීරණය කර තිබෙනවා.
ඒ වගේම තාක්ෂණය පදනම් කරගත් විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙම තාක්ෂණික දැනුමත් සමඟ නව ආර්ථික පරිවර්තනයක් රට තුළ ඇති කරමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සකස් කිරීමට අප ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධව අප පාර්ලිමේතුවේ දී විවාද කළා. එහිදී විවිධ අදහස් පළ වුණා. අවසානයේ කිසිවෙකුගේ විරුද්ධත්වයකින් තොරව එය සම්මත වුණා. සියලුදෙනා එක්ව මෙම කටයුතු සිදු කිරීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්ෂයකටම ස්තූතිවන්ත වෙනවා. ඒ පිළිබඳ ස්තූති කරමින් අප සියලුදෙනා එක්ව මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යමු කියා ප්‍රකාශ කරනවා.
අද ඉන්දියාව, චීනය වැනි රටවල් වේගයෙන් ඩිජිටල්කරණයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ මුදල් ගනුදෙණු සියල්ල සිදුවන්නේ ජංගම දුරක්ථනය භාවිතයෙන්. අපත් එම තත්ත්වයට පත්විය යුතුයි. එහිදී QR කේතය වැදගත් වෙනවා.
ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර එම තාක්ෂණය ඔවුන්ට හඳුන්වාදිය යුතුයි. ඒ නිසා මෙම වැඩසටහන ඉතා වැදගත් බව ප්‍රකාශ කිරීමට කැමතියි.
ඉදිරියේදී මේ රටේ ඕනෑම අයෙකුට ඉන්දියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු සියලු රටවල ආර්ථිකයන් සමඟ එක්ව වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසාදීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි රුපියල ශක්තිමත් කළ යුතුයි.
ඒ වගේම අපේ විදේශ සංචිතය ඉහළ නංවාගත යුතුව තිබෙනවා. එම වැඩකටයුතු මේ වන විට අප සිදු කරගෙන යනවා. මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සමඟ අපට තිබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වෙනවා. එවැනි විදේශ විනිමය සංචිතයක් සමඟ අපට කිසිඳු ගැටලුවකින් තොරව එම රටවල් සමඟ ගනුදෙණු කිරිමට අවස්ථාව ලැබෙනවා.
මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරි වසර 10 තුළ මේ රටේ නවීන ආර්ථිකයක් ඇති කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. එය කොළඹට සීමා නොකර ගම්බද ප්‍රදේශවලටද ලබාදීමට කටයුතු කරනවා.
සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතා,
රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. අගෝස්තු 02වනදා සිට සබරගමුව පළාත් දරුවන් 1000කට පරිඝණක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ සඳහා සබරගමුව පළාත් සභාව රුපියල් මිලියන 50ක මුදලක් වැය කරනවා. ඒ වගේම බ්‍රිටිෂ් කවුන්සිලය මගින් ගුරුවරුන් හා සිසු දරුවන් 850කට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනවා . ඒ සඳහා රුපියල් මිලියන 50ක මුදලක් ලබා දෙනවා. පිරිවෙන්වලට අවශ්‍ය උපකරණ ලබාගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් මුදලක් වෙන් කරනවා. මෙම පාසලේ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20ක් වෙන් කරනවා. මේ සියලු දේ මඟින් අධ්‍යාපනය ශක්තිමත් කර දැනුමින් පිරි සමාජයක් ගොඩනැගීමට කටයුතු කරනවා.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා,
ජනාධිපතිතුමාට ප්‍රථමයෙන්ම මම සුබ පතනවා. එතුමාට අද සුබ දවසක්. 2022 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුණාට පසුව එතුමාගේ මූලික අරමුණ වුණේ ඩිජිටල්කරණය රටට සීග්‍රයෙන් හඳුන්වාදීමයි. ඒ අනුව “ඩිජිටල් ආර්ථිකය 2030” සැලැස්ම ඉදිරිපත් කළා. එම සැලසුමට අනුව ඩිජිටල් සාක්ෂරතාවය සහ රැකියා වෙළඳපළ බිහි කිරීම අරඹා තිබෙනවා.
කොළඹ නගරයෙන් පිට තිබෙන පාසල් දහසක් තෝරාගෙන පරිගණක සාක්ෂරතාවය ලබාදීමට සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට රජය ක්‍රියාත්මක කර තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමට ද පියවර ගෙන තිබෙනවා. දිවයින පුරා තිබෙන පිරිවෙන් 440 ක් සඳහා තාක්ෂණික උපකරණ ලබාදීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. ඈත ගම්මාන වලට සුහුරු පන්ති කාමර ලබාදෙමින් තාක්ෂණික දැනුමෙන් පිරි දරු පරපුරක් බිහි කිරීමට මෙමගින් අපේක්ෂා කරනවා. කෘතිම බුද්ධි තාක්ෂණය හඳුන්වා දෙමින් අධ්‍යාපනය නවීකරණය කිරීමට ද රජය කටයුතු කරමින් සිටිනවා. ලෝකය සමඟ සම සමව තරග කළ හැකි තරුණ පරපුරක් බිහි කිරීමට මෙමඟින් අපේක්ෂා කරනවා.
කෑගලු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය , පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, හිටපු පාර්ලිමේන්තුවරුන් වන මන්ත්‍රී චම්පිකා ප්‍රේමදාස, සංදිප් සමරසිංහ, පරාක්‍රම විද්‍යාලයේ විදුහල්පති ජයම්පති බණ්ඩාර, විදුහලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.