ඉදිරියේ දී ෂොපිං බෑග් තහනමත් ක්‍රියාත්මක කිරීමට පියවර

(ලංකාපුවත් | කොළඹ) – ලන්ච්ෂීට්, සැෂේ පැකට් තහනම වගේම ඉදිරියේ දී ෂොපිං බෑග් තහනමත් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

විකල්ප තිබුනත් නැතත් එම තහනමත් ගෙන එන බව ඇමතිවරයා පැවසීය.

මහින්ද අමරවීර අමාතයවරයා කියා සිටියේ අපේ රටේ පරිසරයට විශාල හානියක් සිදු කළ සැෂේ පැකට් හා නොදිරණ ලන්ච්ෂීට් තහනම් කිරීම මගින් මේ වනවිට වාර්ෂිකව පරිසරයට මුදා හරින ලද සැෂේ පැකට් හා නොදිරණ ලන්ච්ෂීට් තහනම් කිරීමට ලැබීම අපේ රටේ පාරිසරික වශයෙන් ලත් සුවිශාල ජයග්‍රහණයක් බවයි.

“අපේ රටේ ජනතාව වසරකට රුපියල් කෝටි 96ක සැෂේ පැකට් පාවිච්චි කළා. රුපියල් කෝටි 96ක සැෂේ පැකට් කියන්නේ ප්‍රමාණයෙන් බැලුවොත් බිලියන ගණනක්. ඒ වගේම පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් මිලියන 15ක් එක් දිනක් තුළ අපේ පරිසරයට බැහැර කළා. ඒ කියන්නේ අවුරුද්දකට ලන්ච්ෂීට් මිලියන 5475ක්. මේ සියල්ලම එක්වරක් පමණක් භාවිතා කරන දේවල්. දැන් මේ නිෂ්පාදන දෙකම මම තහනම් කළා. ඒ නිසා දැන් ඒවා පරිසරයට එක්වන්නේ නැහැ. මම හිතන්නේ වත්මන් රජය විසින් මෙම පාරිසරික හානිදායක දේවල් තහනම් කිරීම ඉතාමත් හොඳ තීරණයක්.“ යනුවෙන් අමාත්‍යවරයා සදහන් කළේය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ පසුගිය සෙනසුරාදා තංගල්ල ඕකේවෙළ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

සැෂේ පැකට් වර්තමානයේ ගෝලීය අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. ලෝකය පුරා බෙදාහරින සැෂේ පැකට් ප්‍රමාණය බිලියන 885කි. එක් බහුජාතික සමාගමක් පමණක් වසරකට සැෂේ පැකට් බිලියන 40ක් නිෂ්පාදනය කරනු ලැබේ. ඒ වගේම තමයි ආහාර එතීම සඳහා ලන්ච්ෂීට් භාවිතා කරන ලෝකයේ එකම රට අපේ රටයි. දිනකට අපේ රටේ ලන්ච්ෂීට් මිලියන 15ක් පරිසරයට බැහැර කෙරේ. එම ප්‍රමාණය වසරකට ගණන් බැලුවහොත් ලන්ච්ෂීට් මිලියන 5475කි.

ලන්ච්ෂීට් , සැෂේ පැකට් තහනම වගේම ඉදිරියේ දී අපි ෂොපිං බෑග් තහනමත් ක්‍රියාත්මක කරනවා. විකල්ප තිබුනත් නැතත් එම තහනමත් අපි ගෙන එනවා. ප්‍රධාන වෙළෙඳ ජාල දෙකක් මගින් පමණක් වසරකට ෂොපිං බෑග් කෝටි 02ක් පරිසරයට මුදා හරිනවා. පරිසරයට හානි කරන මේ සියල්ල වළක්වා නොගතහොත් අපේ රටේ දරුවන්ගේ අනාගතය අඳුරු වේවි.

ඒ නිසා අපි පරිසරයට අහිතකර කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ. අපිට අවශ්‍ය යහපත් පරිසරයක් අනාගත පරපුරට දායාද කිරීම. ඒ සදහා සියලු දෙනාගේ සහයෝගය පළ විය යුතුයි. ලන්ච්ෂීට්, සැෂේ, ෂොපිං බෑග් තහනම් කරනවාක් මෙන් තවත් පරිසරය විනාශ කරන නිෂ්පාදන රැසක් අපි තහනම් කරනවා. යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *