දශක හතක සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ධූරයට

(කොළඹ | ලංකාපුවත්) –  දශක හතක් පුරාවට ශ්‍රී ලාංකිකයින් හට රසයෙන් සහ ගුණයෙන් යුතු නිෂ්පාදන ලබා දෙන මැලිබන් සමූහ ව්‍යාපාරය තම නව සභාපතිවරිය ලෙස ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අගෝස්තු 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ගන්නා ලදී.

ඇය, මැලිබන් සමූහයේ නිර්මාතෘ ද වූ ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ මිනිපිරිය සහ පසුගියදා අභාවප්‍රාප්ත වූ, මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති තුමන් වන ඒ.ජී. රත්නපාල සමරවීර මහතාගේ දියණිය වන අතර, මැලිබන් සමූහය දිගුකාලයක සිට පවත්වාගෙන එන විශිෂ්ටත්වය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදන හැකියාව පිළිබඳ වූ සමූහයේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයාමට ඇය කැපවී සිටී.

දශකයකට අධික කාලයක් මැලිබන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇති ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය සමූහයේ දැක්ම ඉදිරියට ගෙන යාමටත්, මැලිබන් පවුලේ උරුමය ඉදිරියට ගෙන යාමටත් විශිෂ්ට ලෙස සුදුසුකම් ලබා තිබේ. තම පියාගේ මගපෙන්වීම යටතේ පුරුදු පුහුණු වූ ඇය, සමාගමේ කළමනාකාරිත්වය සහ මෙහෙයුම් අධීක්‍ෂණය කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය, අපනයන පුළුල් කිරීම සහ නව වෙළඳපොළට පිවිසීම මගින් සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. විශිෂ්ටත්වය කරා යාම සඳහා ඇයගේ නොසැලෙන අධිෂ්ඨානය, මැලිබන් පවුලේ සම්ප්‍රදාය මොනවට පිළිබිඹු කරයි. මැලිබන් සමූහයේ නව පෙරළියක් සිදුකරමින්, මැලිබන් සමූහයේ උරුමයේ යෂ්ටිය ඉදිරියට ගෙන යාමට ඇය සූදානමින් සිටින අතර, කාන්තා නායිකාවක ලෙස, කුමුදිකා ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත මැලිබන් නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය සහතික කිරීමටත්, විවිධත්වයෙන් පිරුණු සේවා අභ්‍යන්තරයක් පෝෂණයට ද කටයුතු කරමින් සිටී.

ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක පසුව උසස් අධ්‍යාපනය සඳහා සිංගප්පූරුවට යන ඇය එහිදී සිංගප්පූරු ඇමරිකානු පාසලේ පුර්ව-වෛද්‍ය ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන ලදී. පසුව ඇය මනෝවිද්‍යාව සඳහා වන ශාස්ත්‍රපති උපාධිය සැන් ෆ්‍රැන්සිස්කෝහි නොට්‍රේඩේම් විශ්ව විද්‍යාලයේ දී සම්පූර්ණ කරන ලදී. 1993 දී මැලිබන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ලිට්ල් ලයන් හරහා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ප්‍රනාන්දු මහත්මිය 1995 දී තම ප්‍රථම දරු ප්‍රසූතිය වෙනුවෙන් වෘත්තීය ජීවිතයෙන් කෙටි විරාමයක් ගත්තාය. 2009 දී නැවතත් ඇය මැලිබන් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර 2013 දී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.

මෙම නව තනතුර පිළිබඳව අදහස් දක්වමින් කුමුදිකා මහත්මිය ප්‍රකාශ කර සිටියේ; ඇගේ නායකත්වය යටතේ, මැලිබන් සමූහය ලොව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගිකයින්ට රසයෙන් සහ ගුණාත්මභාවයෙන් යුතු විශිෂ්ට නිෂ්පාදන සැපයීමට ලබා දුන් පොරොන්දුව ඉදිරියටත් ගෙනයාමට කැපවී සිටින අතරම, නිර්මාතෘවරයාගේ සහ හිටපු සභාපතිවරයාගේ දැක්ම ඉදිරියට ගෙනයාමට ඇය අපේක්ෂා කරන බවයි. තවද, පරම්පරා ගණනාවක පුරා පාරිභෝගිකයන් අතර නොවෙනස්ව පවතින රසයන්ට කිසිදු වෙනසක් සිදු නොකර, වර්තමාන සමාජ රටාවන්ට ගැලපෙන පරිදි නව්‍යකරණයට ලක් කරමින් මැලිබන් නාමය ලෝකයේ සුපතල නාමයක් බවට පත්කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රනාන්දු මහත්මිය කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන කාල සමයේ දී, Reliance Retail ventures හි FMCG අනුබද්ධිත Reliance Consumer Products Limited සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයකට මැලිබන් සමූහය පිවිසීම ප්‍රධාන සංධිස්ථනයක් විය. මෙම පියවර මගින් Reliance හි පුළුල් පාරිභෝගික ජාලය හරහා මැලිබන් සන්නාමය ඉන්දියානු වෙළෙඳපොළ ඇතුළු වීමට හැකි පුළුල් දොරටුවක් විවෘත වීමක් විය. මෙම හවුල්කාරිත්වය යටතේ, මැලිබන් සමූහය විසින් ඉන්දියානු වෙළෙඳපොළ සඳහාම පමණක් නිෂ්පාදනය කරන ලද නව බිස්කට් නිෂ්පාදන පෙළක් දියත් කරන ලද අතර, අපනයන පරිමාව සහ විදේශ විනිමය ඉපැයීම් යන දෙකෙහිම වර්ධනයට ද සහාය වෙමින් ජනප්‍රියත්වයේ ඉහළින් අඛණ්ඩව රැදී සිටීමට මැලිබන් සමූහයට හැකිවිය.

මැලිබන් යනු ශ්‍රී ලංකාවේ බිස්කට්, රසකැවිලි සහ අනෙකුත් සැකසූ ආහාර නිෂ්පාදනය කරන සහ අපනයනය කරන විශාලතම සමාගමයි. LMD’s Brands වාර්ෂික ශ්‍රේණිගත කිරීම 2024 විසින් ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික ආදරයට පත් සැකසූ ආහාර සඳහා මැලිබන් ශ්‍රේණිගත කිරීමට ලක් කරන ලදී. වසර 70 කට අධික කාලයක් තම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය රඳවා තබා ගැනීම වෙනුවෙන් මැලිබන් සමූහය වෙත ලැබුණු වඩාත් හොඳ මිණුම් ලකුණක් ලෙස මෙම ශ්‍රේණිගත කිරීම පෙන්වා දිය හැකිය. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමයේ රටවල් (EU), සහ එක්සත් අරාබි එමීර් වැනි දැඩි ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් සහිත රටවල් 50කට අධික ප්‍රමාණයක මැලිබන් නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට ලැබීම මගින් පෙනී යන්නේ, ලොව පුරා පාරිභෝගිකයින් මැලිබන් නිෂ්පාදන කෙරෙහි තබා ඇති විශ්වාසය යි.

ISO සහතිකය ලබාගෙන එහි Super Brand තත්ත්වය ද ළඟාකරගත් ශ්‍රී ලංකාවේ පළමු ආහාර නිෂ්පාදන සමාගම වීම ඔස්සේ මැලිබන් සමූහය විශිෂ්ටත්වය සඳහා ඔවුන්ගේ ඇති කැපවීම තවදුරටත් අවධාරනය කරයි. මෙම විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම වෙනුවෙන් මැලිබන් ආයතනය පස් වරක් සම්මානයට පාත්‍ර වී ඇති අතර, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානය සහ පිට පිට දෙවතාවක් දිනාගනු ලැබූ Global Performance Excellence සම්මානය ඇතුළුව ලොව ප්‍රමුඛ පෙළේ සම්මාන රාශියකින් පිදුම් ලබා තිබේ. ශ්‍රී ලංකා දේශගුණික අරමුදලෙන් ISO 14064-1:2018 ප්‍රමිතියට අනුව ප්‍රතීතනය කරන ලද කාබන් පියසටහන් සහතිකය ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, ඒ ඔස්සේ තිරසාරත්වය සඳහා වන සමූහයේ ඇති කැපවීම ද පිළිගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *