ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවල සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන්නැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ, ඉදිරි දිනවල මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමට හැකියාව පැවතීම හේතුවෙන් ය.

මෙම තත්ත්වය හමුවේ නිරන්තරයෙන් තම ආරක්ෂාව පිළිබඳව අවදානය යොමු කරන ලෙසත්, අත්‍යවශ්‍ය කරුණකට හැර සේවා ස්ථානයෙන් පිටත්ව නොයන ලෙසත් ඔවුන්ට දැනුම් දී ඇති බවයි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

හදිසි අවස්ථාවක දී තම සේවා ස්ථානවල ඇති ආරක්ෂක කුටි භාවිත කරන ලෙස හා දින කීපයකට අවශ්‍ය ආහාර, ඖෂධ ගබඩා කර තබා ගන්නැයි ඔවුන්ට දැනුම් දුන් බවද තානාපතිවරයා පැවසීය.

ඊශ්‍රායල් රජය ඇතිවිය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා රෝහල් හා ගිලන් රථ සේවා සූදානම් කර ඇති බව ද හෙතෙම පැවසීය.

මේ අතර, ඊශ්‍රායලයේ වෙසෙන තම ඥාතීන් පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස තානාපතිවරයා මෙරට ඥාතීන්ගෙන්ද ඉල්ලීමක් කරයි.

ඊශ්‍රායලේ සේවයේ නියුතු පුද්ගලයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මේ වනවිට ඊශ්‍රායලයට විරුද්ධව රටවල් කිහිපයක් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීම් කර ඇති බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.

දැනට ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව එකොලොස් දහසකට අධිකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *