නිදහස් අධ්‍යාපණයේ හිමිකම සුරකීම වෙනුවෙන් රජයෙන් දැවැන්ත පියවරක්

(කොළඹ | ලංකාපුවත්) –  සිසුන් 300ට අඩු සියලුම පාසල්වල අස්වැසුම ප්‍රතිලාභී නොවන සිසුන්ට පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මෙම තීරණය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් මත ගෙන ඇති අතර, එය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊයේ (07) ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම දීමනාව වවුචර් පතක් ලෙස ලබාදීමට නියමිත අතර, එය දිවයින පුරා පිහිටි සමස්ත පාසල් 10,096ක් අතුරින් ළමුන් සංඛ්‍යාව 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට, දෙමාපියන් අහිමි ළමුන්ට, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්ට, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන්ට සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට හිමිවනු ඇත.

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් පාසල් දරුවන්ගෙන් 55%කට අධික ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතුවලට බලපෑම් සිදුව ඇති බවත්, 53.2%ක් පමණ සිසුන් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අඩු කර ඇති බවත්, 26.1%ක් පෙර භාවිත කළ ලිපිද්‍රව්‍ය නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තාවලින් පෙන්වාදී ඇති දත්ත මත පදනම්ව මෙම තීරණය ගෙන ඇත.

මෙම දීමනාව ලබාදීම සඳහා රුපියල් මිලියන 6,500ක ප්‍රතිපාදන සම්පාදනය කර ඇති අතර, එය 2025 වසරේ පාසල් වාරය ආරම්භයේ සිටම ක්‍රියාත්මක වනු ඇත.

මෙම වැඩසටහන ඔස්සේ, රජය විසින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඇති ආර්ථික බලපෑම් අවම කරගැනීමටත්, පාසල් හැරයාම් අනුපාතය අඩු කරගැනීමටත් අපේක්ෂා කරනු ලබයි.

මෙම දීමනාව ලබාදීම සඳහා විදුහල්පතිවරුන්ට සුදුසුකම් ලබන සිසුන්ගේ ලේඛන සකස් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, එමගින් වැඩසටහනේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *