(කොළඹ | ලංකාපුවත්) – මේ වසරේ ශ්රී ලාංකිකයින් අටදහසකට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්රමසිංහ මහතා පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා තවදුරටත් පවසන්නේ නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින්නන් මෙරටට ගෙන්වීමට වහා කටයුතු කරන බවයි.
දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන 96 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්රදානය කරමින් කෝෂල වික්රමසිංහ මහතා මේ බව කියා සිටියේය.
ඔවුන් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ රැකියා සඳහා මේ වසරේ පිටත්ව යන පළමු කණ්ඩායමය වේ.
නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින අයගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඉදිරි නීතිමය පියවර ගන්නා බවද වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
විදේශ රැකියාවල නිරත වූවන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් මිලියන 6,000ට අධික මුදලක් මෙරටට සපයාදෙන බවද ඒ මහතා පැවසීය.
දකුණු කොරියාව හා ශ්රි ලංකාව අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම ප්රකාරව පසුගිය වසරේ දකුණු කොරියාවේ රැකියා සදහා ශ්රි ලාංකිකයින් 5,562 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඊට නිශ්පාදන ක්ෂේත්රය සඳහා 4,699 ද, ධීවර ක්ෂේත්රය සඳහා 846 ද, ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා පිටත්ව ගිය 16 කු හා කෘෂිකාර්මික ක්ෂේත්රය සඳහා පිටත්ව ගිය එක් ශ්රමිකයෙකුද අයත් වේ. එසේම පසුගිය වසරේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වූ ශ්රමිකයින් අතරට කාන්තාවන් 115 දෙනෙකුද ඇතුළත් වේ.