(කොළඹ | ලංකාපුවත්) – රට පවතින තලයෙන් අලුත් තලයකට ඔසවා තැබිය හැකි එක ම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය බව ත් එමගින් ජනතාවගේ අවශ්‍යතාවන් කිසිදු පීඩාවකින් හා රස්තියාදුවකින් තොරව ඉටු කරගත හැකි බව ත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.
ඒ, ඊයේ (ජන. 7) ජනාධිපති කාර්යාලයේදී ය.
මෙමගින් රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තානාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකිය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත් මෙමගින් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
“Govpay ” වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉදිරියේදී සියලු ම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටින බව ය.