රටම අපනයන ආර්ථිකයක් මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අරමුණයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මුළු රටම අපනයන ආර්ථිකයක් මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලෝක වෙළෙඳපොළ අපේ වෙළෙඳපොළ බවට පත් කර ගත යුතු බවත් ආර්ථිකය දියුණු කිරීම සදහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීම බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා බදුල්ල, ඌවපරණගම යොවුන් අපනයන කෘෂි ගම්මාන සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙන බවද ඔහු එහිදී පැවසීය.

“ආර්ථිකය දියුණු කිරීම සදහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙනවා. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන් පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා. නමුත් බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පොහොසත් වී තිබෙනවා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණුඅවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.

එකල අපට යුරෝපා වෙළෙදපොලට පිවිසීමට තිබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ලබා ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොලොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ. ණය ගෙවීමට නොහැකි පුද්ගලයෙකු ණයක් ගත් විට සිදු වන්නේ කුමක්ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව සිදු වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුයි.” යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *