රජය සෑම විටම පොදු මහජනතාවට සාධාරණත්වය ඉටු කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රජය සෑම විටම කටයුතු කරන්නේ පොදු මහජනතාවට සමාජ සාධාරණත්වය ඉටුකිරීම සඳහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගලගෙදර නව අධිකරණ සංකීර්ණය ඊයේ (22) ජනතා අයිතියට පවරාදෙමිනි.

සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, ජනතාවගේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන කරුණු පිළිබඳව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විශාල වැඩකොටසක් ඉටුකළ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කිරීමත්, 19 වන සංශෝධනය සම්මත කිරීමත් මේ රටේ සමස්ත පුරවැසියන් ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු කොමිෂන් සභා තුළින් රටේ සෑම පුරවැසියෙකුටම නීතියේ සාධාරණත්වය, සමාජ සාධාරණත්වය, නිදහස, මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් යන සියල්ල සඳහා ශක්තිමත් පදනමක් වැටුණු බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු වඩා විධිමත් සහ කාර්යක්ෂම කරමින් ඒවා ශක්තිමත් පදනමකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට තමා පසුගියදා අදාළ නිලධාරින් කැඳවා උපදෙස් ලබාදුන් බව ප‍්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නිදහස ලැබූ දිනය වන ජනරජ දිනය අදට යෙදි තිබෙන අතර ඒ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අධිකරණ ක්ෂේත‍්‍රය රට තුළ සම්පූර්ණයෙන් නිදහස් හා ප‍්‍රජාතන්ත්‍රවාදී බවට පත්වූයේ 1972 වසරේ මැයි 22 වන දින සම්මත කරගත් එම ව්‍යවස්ථාව තුළින් බවයි.

අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙන අතර මහල් දෙකකින් සමන්විත නව අධිකරණ සංකීර්ණය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 76 කි.

නව අධිකරණ සංකීර්ණය විනිසුරු නිල මැදිරි, ලේඛනාගාර, නීතිඥවරුන්ගේ රාජකාරී හා විවේක කාමර, පවුල් උපදේශන කාර්යාල ඇතුළු පහසුකම්වලින් සමන්විතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *