මීළඟ නායිකාව ලෙස සැලකුණ උස්බෙකිස්තානයේ හිටපු ජනපති දියණිය රැඳවුම් භාරයේ

(කොළඹ, ලංකාපුවත්) – කලක් උස්බෙකිස්තානයේ ඉතා බලගතු කාන්තාවක වූ, හිටපු ජනාධිපති ඉස්ලාම් කරීමොෆ් ගේ දියණිය රඳවාගෙන සිටින බව බලධාරීහු තහවුරු කළහ.

45 හැවිරිදි ගුල්නාරා කරීමවා සිය පියාගෙන් අනතුරුව රටේ බලයට පත්වනු ඇතැයි මුලදී විශ්වාස කෙරිණ.
එහෙත් දශක දෙකකට වැඩි කාලයක් ‘යකඩ හස්තයකින්’ උස්බෙකිස්තානය පාලනය කළ ඉස්ලාම් කරීමොෆ් ගේ පාලනය සමයේදීම ඇය සිය පියා සමග ගැටුම් ඇතිකරගත්තාය.

ඉස්ලාම් කරීමොෆ් පසුගිය සැප්තැම්බර් මාසයේ මිය ගියේය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් සිය පියාගේ පාලනය සමයේදීම දූෂණ චෝදනාවකට වැරදිකරු කෙරුණු ඇය 2015 සිට රැඳවුම් භාරයේ පසුවන බව නීතිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කළේය.

නීතිපතිවරයා පවසන පරිදි ඇයට එරෙහිව පස් වසරක් රඳවා ගැනීමේ නියෝගයක් 2015 දී නිකුත් කර තිබේ.

ගුල්නාරා කරීමවා නිවාස අඩස්සියේ පසුවන බව විශ්වාස කෙරෙන අතර, ඇය රඳවා සිටින්නේ කුමන ස්ථානයක ද යන්න පැහැදිලි නැත.

කලක් ස්පාඤ්ඤයේ උස්බෙකිස්තාන තානාපතිවරිය ලෙසින් ද කටයුතු කළ ගුල්නාරා කරීමවා, උස්බෙකිස්තානයේ ජාත්‍යන්තර නාමය බවට පත්ව සිටියාය.

ඇයට සිය නමින්ම මෝස්‌තර සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් තිබූ අතර, සිය පොප් ගීත තැටිගත කරමින් සහ බෙදාහරිමින් ඇය ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *