ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් සමීපව කටයුතු කිරීමට චීනය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීපව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මානව සංහතිය සදහා ඒකාබද්ධ විශ්වීය ආරක්ෂක වැඩපිළිවෙලක් ගොඩ නැගිය යුතු බවය.

චීනයේ බෙයිජිං නුවරදී ඊයේ(26) ආරම්භ වු ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ 86 වැනි සම්මේලනයේ සමාරම්භක අවස්ථාව අමතමින් චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ නීතිය බලාත්මක කිරීම, ආරක්ෂක සහයෝගීතාව සහ අපරාධ මැඬලීම වැනි ක්ෂෙත්‍රවලදී ජාත්‍යන්තර පොලිසියේ කාර්යභාරය ඉතා වැදගත් බවය. 1984 වසරේදී චීනය ඉන්ටර්පෝල්හි සාමාජික රටක් බවට පත් වීමෙන් පසුව චීනය ජාත්‍යන්තර පොලිසිය හා අනෙකුත් සාමාජික රටවල් අතර සහයෝගීතාව වර්ධනයට සහ ලෝක සාමය හා ස්ථාවරත්වයට පුළුල් කාර්යයක් ඉටු කළ බවද හෙතෙම පැවසීය.

ප්‍රංශය මුලස්ථාන කරගත් ජාත්‍යන්තර පොලීසිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව ලොව දෙවැනි විශාලතම සාමාජිකයින් සංඛ්‍යාවක් හිමි ජාත්‍යන්තර සංවිධානය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *