ශාසනික සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය සියලු කැපකිරීම් සිදුකරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ බොහෝ දියුණු රටවල දැකිය නොහැකි විනයකින් සහ හැදියාවකින් ශී‍්‍ර ලාංකීය සමාජය පෝෂණය වී ඇත්තේ බෞද්ධ දර්ශනය නිසා බව පැවසූ ජනාධිපතිතුමා ශාසනික සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කළයුතු සියලු කැපකිරීම් සිදුකරීමට වත්මන් රජය කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මාවනැල්ල, කැප්පෙටිපොල ශී‍්‍ර අභය රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලේ මංගල ශිලා ප‍්‍රතිස්ඨාපනය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (17) එක් වෙමිනි.

ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් පෞරාණික විහාරස්ථානයක් වන මාවනැල්ල, කැප්පෙටිපොළ ශී‍්‍ර අභය රාජ මහා විහාරස්ථානය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව විහාරාධිපති පූජ්‍ය මණ්ඩාවල ධම්මාරාම නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලේ මංගල ශිලා ප‍්‍රතිස්ඨාපනයට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එම අවස්ථාව සනිටුහන් කරමින් විහාරස්ථාන පරිශ‍්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

විහාරස්ථානයේ නව සූර්ය බලශක්ති පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

පුණ්‍යෝත්සවයේ පැවිදි අනුශාසනාව කෝට්ටේ ශී‍්‍ර කළ්‍යාණි සාමගී‍්‍ර ධර්ම සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකළ අතර, පිරිස පංච ශීලයේ පිහිටුවීම පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කළහ.

තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ආධාර පිණිස රුපියල් ලක්ෂ 05 ක මුදල් පරිත්‍යාගයක් පොල්ගහවෙල පදිංචි විශ‍්‍රාමලත් පාඨශාලාචාරිනි ආර්.පී.එම්. රත්නායක මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, රංජිත් සියඹලාපිටිය, දයා ගමගේ, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *