ගෝලීය ආරක්ෂාවේ අභියෝග ජය ගන්න හමුදාවේ මෙහෙය විශිෂ්ඨයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ආරක්ෂක සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) ආරම්භ විය.

නේපාලයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පටිගත කළ විශේෂ ප්‍රකාශයක් මෙහිදී සම්මේලනයට ඉදිරිපත් කෙරුණි.

දෙස් විදෙස් ආරක්ෂක අංශ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ආරක්ෂක සම්මේලනය අද පෙරවරුවේ ආරම්භ විය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන සම්මේලනයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු රැසක් පිළිබදව අවධානය යොමු කෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රකාශයෙන් කියා සිටියේ රටේ අභ්‍යන්තර ගැටලු රට තුළම විසදා ගැනීමට ක්‍රියා කළ යුතු බවයි.

ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කළ මෙරට ආරක්ෂක හමුදා සිදුකළ ක්‍රියාන්විතයන්ට අදාළ අත්දැකීම් හුවමාරු කර ගැනීම උදෙසා කොළඹ ආරක්ෂක සමුළුව වාර්ෂිකව පැවැත්වේ. මෙය සංවිධාන කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙනි.

21 වැනි සියවසේ නාගරික ආරක්ෂාව, සයිබර් ගැටුම්, ගෝලීය ආරක්ෂක අභියෝග, යුධ උපායන් ප්‍රතිව්‍යුහගත කිරීම වැනි මාතෘකා කිහිපයක් ඔස්සේ සමුළු සැසිවාර පැවැත්වේ.

ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව මෙවර සමුළුවේ තේමාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *