හමුදාපතිගෙන් භට පිරිස් වෙත දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – පවත්නා දේශපාලන වාතාවරණය හමුවේ අත්කරගෙන ඇති ප්‍රතිරූපයට හානි නොවන පරිදි අපක්‍ෂපාතීව, විනය ගරුකව හා නීති ගරුකව ක්‍රියා කිරීමට යුද හමුදා භට පිරිස් වගබලා ගත යුතු බව, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

සියලුම යුද හමුදා ආරක්‍ෂක සේනා මූලස්ථාන, ස්වේච්ඡා බල සේනාව, ශාඛා අධ්‍යක්‍ෂ මණ්ඩල වෙත උපදෙස් සහිත ලිපියක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව දැනුම් දී තිබේ.

දේශපාලනික ගැටලු සඳහා විසඳුම් සෙවීම නීතිගරුක මෙන්ම විනයගරුක හමුදාවක් වශයෙන් යුද හමුදාවට අයිති රාජකාරියක් නොවන බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බවයි, යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

එසේ වුවත්, යුද හමුදාවක මූලික කාර්ය භාරය වනුයේ, දේශපාලන ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලංකාවාසීන් හා දේපළ ආරක්‍ෂා කිරීමයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා මගින් පිළිවෙළින් ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හරහා යුද හමුදාපති විසින් පමණක් නිකුත් කරනු ඇතැයි අවධාරණය කෙරේ. ඊට බාහිරව ලැබෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව ලිපියේ සඳහන්. පවත්වා නීතිය අනුව යම් කලහකාරී තත්වයක් ඇතිවුවහොත්, ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ප්‍රථමයෙන් තත්වය පාලනය කිරීම සඳහා ක්‍රියා කරනු ඇත.

එම තත්වය ඔවුන්ගේ පාලනයෙන් තොරවූ අවස්ථාවකදී යුද හමුදා සහය ඉල්ලා සිටියහොත් පමණක් මූලස්ථානයේ අනුමැතිය මත ඊට සහය දිය හැකි බව යුද හමුදාපතිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *