ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට ප්‍රසාද ලකුණ බැගින්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ(11) බ්‍රිස්ටල් හිදි පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයටද වර්ෂාවෙන් බාධා ඇති විය.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 3.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් පැය 3කටත් වඩා වැඩි කාලයක් වර්ෂාව ඇද හැලීම හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමටද අවස්ථාවක් නොලැබිණි.

මේ සමගින් දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකාව තරග 4කදී එක් තරගයක් ජයගෙන තරග 2ක් අත්හැර දැමීමෙන් ප්‍රසාද ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පැමිණියේය. තරග 4කට සහභාගිවු බංග්ලාදේශය තරගයක් ජයගෙන පරාජයන් දෙකක් සමගින් ලකුණු 3ක් ලබා 7 වැනි තැන සිටී.

ශ්‍රී ලංකා පිල සහභාගීවන මීළඟ තරගය ලබන 15 වැනිදා ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේ වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු තෙවැනි තරගය මෙය විය. මින් පෙර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයත්, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල සමග තරගයත් වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය.

තරග පිළිබඳ අදහස් දැක්වූ නායක දිමුත් කරුණාරත්න පැවැසුවේ තරගය පැවැත්වීමට නොහැකිවීම කනගාටුවට කරුණක් බවයි. මෙලෙස තරග සේදී යනවිට තරගාවලිය ඉදිරියට පවත්වා ගෙන යෑම අපහසු බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *