‘පලාලි’ කලාපීය ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –යාපනය,පලාලි ගුවන් තොටුපොළ,කළාපීය ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අද(05) පෙරවරුවේ ආරම්භ විය.

අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුවිය.

පලාලි ගුවන් තොටුපොළ අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරෙන අතර, ඊට වැය කෙරෙන මුදල රුපියල් දස ලක්ෂ 2,250ක්. මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ, ලබන අගෝස්තු මාසයේ ඉන්දියාව කේන්ද්‍රකර ගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීමයි. එමගින් ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්,කොචින්,බැංගලෝර් යන ගමනාන්ත දක්වා ගුවන් සේවා පුළුල් කෙරේ.

පළමු අදියරේ දී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට භාවිතයට ගන්නා ප්‍රධාන ධාවන පථයෙහි මීටර 950ක් අලුතින් ඇති කිරීමට නියමිතය. ඒ සමග ආසන 72කට අඩු බොම් බඩියර් ඇට් 100 ගුවන් යානා පලාලි ගුවන් තොටුපොළෙහි හැසිරීමේ අවස්ථාව උදා වෙයි. දෙවැනි අදියරේ දී ප්‍රධාන ධාවන පථයේ තවත් කිලෝ මීටර එකහමාරක් අලුතින්ම ඉදි කිරීමට නියමිතය.

ඉන් පලාලි ගුවන් තොටුපොළෙන් වර්ග කිලෝ මීටර 1,800ක ගුවන් අවකාශයක් ආවරණය කිරීමට නියමිතයි. තුන්වැනි අදියරේ දී ප්‍රධාන ධාවන පථයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර 2.3ක් දක්වා පූර්ණය කෙරේ. එමගින් ඒ.එල්.320,321 වැනි ගුවන් යානා හැසිරවීමේ හැකියාව පලාලි ගුවන් තොටුපොළට හිමිවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *